ජෝඩුවක් යට ඇඳුම් 8 ක් ඇඳලා, වටිනාකම කෝටි 6 යි

රුපියල් කෝටි හයක් වටිනා රත්තරන් බිස්කට් 118 ක් තම යට ඇඳුම් වල සඟවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික යුවලක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ වයස 35 සහ 46 වියේ පසුවන වත්තල පදිංචිකරුවෝ වෙති.
අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් වල බර කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 800 කි.
අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාව යට ඇඳුම් හතරක්  ඇඳ   රන් බිස්කට් 48 ක් ඒවා තුළ සඟවා තිබු බව රේගුව කියයි.  පිරිමියාද ඒ අයුරින්ම යට ඇඳුම්  හතරක් ඇඳ එහි රන් බිස්කට් 70 ක් සඟවා තිබී ඇත.
මේ දෙදෙනා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 303 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ඇත.
මොවුහු   රත්තරන් ප්‍රවාහනයේ යෙදෙන තැරැව්කරුවෝ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  රංජන් හේවාගම, අනුර වලවගේ රේගු අධිකාරී සරෝජ් චන්ද්‍රසේන, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන පී.එච්.යු.අයි විජේපාල සහකාර රේගු අධිකාරීවරුන් වන සී.පී අබේවික්‍රම සහ රොමෑන්ස් ස්ලිජ් යන නිලධාරීහු සිදු කරති.