එල්ල්ටීඊ තහනම ඉවත් කරන්න පරිවාස කාලයක්
මාස 6 ක පරිවාස කාලයකට යටත් කර යුරෝපීය සංගමය ත්‍රස්වාදී සංවිධාන ලැයිස්තුවෙන් එල්ටීටීඊ නම ඉවත් කර ඇත. එල්ටීටීඊ තහනම මුළුමනින්ම ඉවත්වන්නේ එම කාලය තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුවය. යුරෝපීය අධිකරණය (ECJ) විසින් අද මෙම තීන්දුව ලබා දී ඇත.
2006 වසරේ දී කොටි සංවිධානය විසින් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදුකරනු ලැබූ දරුණු ප්‍රහාර රැසක් සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය යුරෝපය තුළ තහනම් ත්‍රස්තවාදී කණ්ඩායම් ලයිස්තුවට ඇතුලත් කරන ලදී.
එල්ටීටීඊ නීතිඥයන් විසින් මේ සම්බන්ධ නඩුව විභාග කළ විනිසුරුවන්ගේ අවධානයට ලක්කර තිබුනේ ඉන්දියානු තහනම සඳහා පැවැත්වූ නඩු විභාගය සාධාරණ නඩු විභාගයක් නොවන බවත්, යුද්දයෙන් පසු කාලය තුල එල්ටීටීඊය කිසිදු ත්‍රස්ත ක්‍රියාවක යෙදී නැති බවත් යුරෝපා සංගමය තුලද කිසිදු නීත්‍යාණුකූල නොවන ක්‍රියාවක යෙදී නැති බවත් ය.
ඉදිරි මාස 6 ක කාල සීමාව තුල තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ස්ථීර තීන්දුවක් ගත යුතු බව අධිකරණ නියෝගයේ සඳහන් වේ.
මෙහිදී එල්ටීටීඊය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේදී යුරෝපා සංගමය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්‍රභ කරනු ලැබ ඇත.
එම ලැයිස්තු ගත කිරීමේ දී සහ වත්කම් තහංචි පැනවීමේ දී යුරෝපා සංගමය විසින් සැලකිල්ලට ගනු ලැබ ඇත්තේ ඉන්දියාවේ බලධාරීන් එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් ගෙන තිබුණ තීන්දුවයි.
එහෙත් එම තීන්දුවට එරෙහිව අභියෝග කරමින් එල්ටීටීඊ සංවිධානය කියා සිටියේ, ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ ගෙන යන සන්නද්ධ අරගලය ජාත්‍යන්තර නීතිය අනුව ත්‍රස්ත විරෝධී නීතිය යටතට නොව ජාත්‍යන්තර මානවීය නීතිය යටතට ඇතුළත් වෙන බවයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සිය සංවිධානය සතු යුරෝපා වත්කම් ගනු දෙනු වලින් අත්හිටවනු ලැබීම බලය සහිත අධිකාරී පාලනයකින් අනුමැතිය නොලද විශ්වාසය තැබිය නොහැකි මූලාශ්‍රයක් පදනම් කර ගත් තීරණයක් වන බවයි.
මේ සම්බන්ධයෙන් අද, සිකුරාදා ලක්සම්බර්ග් හි යුරෝපා අධිකරණය විසින් දෙනු ලැබ ඇති තීන්දුවෙහි දැක්වෙන්නේ, ‘ජාත්‍යන්තර නීතියේ ’ සන්දර්භය තුල ‘සන්නද්ධ ගැටුම්’ද ත්‍රස්ත විරෝධී යුරෝපා නීතියට අදාළ වෙන බවයි.
එහෙත් යුරෝපා සංගමය, එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන්ගේ තීරණය මත පදනම් වීම ගැන සඳහන් කරන යුරෝපා අධිකරණය 2001/931 පොදු ස්ථාවරයේ අර්ථ අනුව යුරෝපා හවුලින් පරිබාහිර රටක බල අධිකාරියක තීන්දු සුදුසු යයි පිළිගත හැකි නමුත් ආරක්ෂක අයිතිය සහතික කර ගැනීම සඳහා එම පරිබාහිර රාජ්‍යය නියම කර ගත් නීතිය සමානාත්මතාව පදනම් කර ගත යුරෝපා හවුලේ අධිකරණ පිළිවෙතට අනුගත වන්නේද යන්න ඉතා ප්‍රවේශමෙන් නිරාකරණය කර ගත යුතුව තිබුණ බවයි කියා සිටින්නේ.
එහෙත් යුරෝපා සංගමය එවැනි දැඩි පරීක්ෂණයක් සිදු කරනු ලැබ නැත යන්න යුරෝපා අධිකරණයේ තීන්දුවයි.
මේ අනුව ගනු ලැබ ඇති විධි විධාන 2001/931 පොදු ස්ථාවර සහ අධිකරණමය පටිපාටිය මගින් ඉල්ලා සිටින පරිදි පිළිගත හැකි බලධාරීන්ගේ විභාග කිරීම් මත තහවුරු කෙරුණ ඒවා නොව පුවත්පත් සහ අන්තර්ජාල තොරතුරු පදනම් කර ගත් ක්‍රියාමාර්ගයක් වන බවයි යුරෝපා අධිකරණයේ නිගමන වී තිබෙන්නේ.
එම කරුණු පදනම් කර ගෙන යුරෝපා අධිකරණය මුලින් කී නිශ්ප්‍රභ කිරීම සිදු කර තිබෙ.
එහෙත් යුරෝපා අධිකරණය අවධාරණය කරන්නේ අනුගමනය කරනු ලැබ ඇති මූලික පටිපාටිමය කාරනා පදනම් කර ගත් සිය තීන්දුව දෙමළ විමුක්ති කොටි සංවිධානය (LTTE) ත්‍රස්ත සංවිධානයක් හැටියට ලැයිස්තු ගත කිරීමේ තක්සේරුවට අදාළ නොවන බවයි.