මේ සම්මානය මට ගොඩක් බරයි - අකිල.
මට මේ සම්මානය ලැබුණේ හය වෙනි වතාවට
- යශෝධා
හිරු ගෝල්ඩන්-ෆිල්ම් අවෝර්ඩ් සිනමා සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට සහ නිළියට හිමි සම්මාන හිමිවුණේ සිරිපැරකුම් චිත්‍රපටයේ රගපෑ අකිල ධනුද්ධරට සහ සමනළ සංවනියේ රගපෑ යශෝධා විමලධර්මටය. සම්මානයේ උණුසුම යන්න මත්තෙන් අපි ඔවුන් දෙපළට මෙලෙස ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් පත් කළා.
-අකිල රගපෑ පළමු චිත්‍රපටයෙන්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැඛෙනවා. මොකද හිතන්නේ ?
මම වගේ නවකයෙක්‌ට ජනතා සම්මානය හිමිවීම ගැන ඇත්තටම සතුටුයි. දැන් මට ලොකු වගකීමක් තියෙනවා. ජනතාව ලබාදුන් සම්මානය හොඳ විදිහට පාවිච්චි කරන්න සූදානමින් ඉන්නේ.
- ජනප්‍රිය නිළි යශෝධා ගැන මොකද හිතන්නේ ?
මගේ පියාගේ වකවානුවේදී බිහිවුණ අතිදක්‍ෂ නිළියක්. මම කලාවට නවකයෙක්. යශෝධා අක්‌කා සමග මට සම්මානයක් ලබාගන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.
-සම්මාන උළෙල ගැන හැගෙන දේ ?
සිනමාවට ගැලපෙන මෙවැනි මංගල්‍යයක් අවශ්‍ය යුගයක මෙය පැවැත්වීම ගැන ඇත්තටම සතුටුයි. අයිෆා, ඔස්‌කාර් සම්මාන උළෙලවලට සමානත්වයක් උසුලපු සම්මාන උළෙලක් කියන්න පුළුවන්.
- විවේක් ඔබ්රෝයි අතින් සම්මානය ලබාගන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?
විවේක් ඔබ්රෝයි අතින් සම්මානය ලැබුණට, මට සම්මානය ලබාදුන්නේ ජනතාව. මට මේක හරි බරයි. අනික මට ජනතාවට ණය වෙන්න බැහැ. ඔවුන් වෙනුවෙන් මීට වඩා යමක් කළ යුතුයි.
- බිපාෂා සමග රඟපාන්න අවස්‌ථාවක් උදාවුණොත් භාරගන්නවාද?
හොඳ කලා නිර්මාණයක් වුණොත් භාරගන්නවා. මට ආරාධනා එමට ලැබුණා. හැබැයි මම ඒවායින් හොඳ නිර්මාණ විතරයි භාරගත්තේ. හොඳ නිර්මාණයක් නොවුණොත් බිපාෂා නෙමෙයි අයිශ්වර්යා හිටියත් භාරගන්නේ නැහැ.
- දස්‌කොන්, තාත්තාගේ වැඩේ නිසාද භාරගත්තේ ?
ඒක ඉතාමත් හොඳ වැඩක්. අනික මම අප්පච්චි එක්‌ක කරන පළමු වැඩේ. මෙච්චර හොඳ වැඩක් ඇයි මම අහක දාන්නේ.
- ඔබට වඩා රන්ජන් ජනප්‍රියයි කියලා හිතෙන්නේ නැතිද?
පැහැදිලිවම. මම ඔහුගේ වයසට වඩා හරි අඩක් විතර බාලයි. අනික ඔහු මට වඩා සෑහෙන නිර්මාණවලට දායක වෙලා ඉන්නවා. දිගු කාලයක් පුරාවට ඔහුට ලැබුණ සම්මානය තමයි මෙවර මට හිමිවුණේ.
- රන්ජන් ඔබට සුබපැතුවාද?
සම්මානය ගන්න කලින් මුලින්ම මගේ අප්පච්චිගේ දෙපා නමැදලා පසුව ගියේ රන්ජන් අයියා ළඟට. ඔහුගේ ආශිර්වාදය මැදයි මම වේදිකාවට ගොඩවෙලා ජනතාව දුන් සම්මානය ලබාගත්තේ.
-රන්ජන් ඔබේ ලෝකයේ වීරයෙක්‌ද?
ශ්‍රී ලාංකේය ජනප්‍රිය සිනමා ඉතිහාසයේ ලකුණ රන්ජන් රාමනායකට ලැබුණා. ඒ සම්මානය තමයි මෙවර මට හිමිවුණේ. ජනතාව දුන් බර මම කරට ගන්නවා.
යශෝධා...
- දිගු කලකට පසුව ලැබුණ සම්මානය ගැන මොකද හිතන්නේ ?
ජනප්‍රිය නිළිය කියන සම්මානය මට අරුමයක් නෙමෙයි. අවුරුදු 27 ක් තිස්‌සේ මට ආදරය කළ ප්‍රේක්‍ෂකයන් මාව සමනළ සංවනිය නිර්මාණය හරයා යළිත් ඔසවා තැබුවා. මගේ ජීවිතයේ හයවැනි වරට තමයි මෙවර ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලැඛෙන්නේ.
-ජනප්‍රිය නළු අකිල ගැන මොකද හිතන්නේ ?
අකිල කියන්නේ අපට ඉන්න ශ්‍රේෂ්ඨ රංගධරයෙකුගේ පුතෙක්. ඔහුගේ පළමු චිත්‍රපටයෙන්ම මේ සම්මානය ලැඛෙනවා. පියාගේ ලේ වලින්ම කුසලතා ලැබිලා තියෙනවා කියලා මට හිතෙනවා. ඔහු දිගු ගමනක් යාවි.
-සම්මාන උළෙල ගැන මොකද හිතන්නේ ?
අපිට සිනමා සම්මාන උළෙලක් අවැසි යුගයක මෙවැන්නක් පැවැත්වීම අගය කරනවා. හැබැයි ඒත් මට පුදුම වෙන්න කාරණාවක් තිඛෙනවා.
-ඒ මොකක්‌ද ?
සිනමා සම්මාන උළෙලකදී නිර්දේශිත නාමයන් අතරට එක්‌වීම පවා සම්මානයක් ලැබීම හා සමානයි. ජයන්ත චන්ද්‍රසිිරි නමැති අග්‍රගණ්‍ය අධ්‍යක්‍ෂවරයා නිර්මාණය කළ සමනල සංවනිය චිත්‍රපටය මෑත යුගයේ සිනමාවේ ඉතාම හොඳ හැරවුම් ලකෂ්‍යයක් වුණා. ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මෙන්ම විචාර අනන්තයි, අප්‍රමාණයි. නමුත් මට පුදුම වෙන්න කාරණාව මේ සිනමා නිර්මාණයේ අධ්‍යක්‍ෂණයට, තිර රචනය, කැමරාකරණය වැනි අංශවලින් හෝ නිර්දේශිත නාමයන් අතරට නොයැම. ඒ ගැන මට කුතුහලයක් තිඛෙනවා.
-විවේක් ඔබ්රෝයි අතින් සම්මානය ලැබීම ගැන මොකද හිතන්නේ?
මුලින් කිව්වා වගේ ජනප්‍රිය නිළිය සම්මානය මට නුපුරුදු දෙයක් නෙමෙයි. ඉන්දීය කලාකරුවන් සම්බන්ධ කරගැනීම හොඳ කාරණාවක්.
-අනිල් කපූර් සමග රඟපාන්න අවස්‌ථාවක් ලැබුණොත් භාරගන්නවාද?
ඒක තීරණය වන්නේ නිර්මාණය මතයි. මම මීට කලින් කේරළයේ මලයාලම් චිත්‍රපටයකත් රඟපාලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මට්‌ටමේ නළු නිළියන් සමග වැඩකරලා තියෙනවා. මම ජාත්‍යන්තර මට්‌ටමේ වැඩක් භාරගන්නෙත් නිර්මාණය අනුවයි.
-දැන් ටෙලිනාට්‍යවල රගපෑම එපාවෙලාද?
ඒකට දෙන්න තියෙන්නේ සරල උත්තරයක්. ටෙලිවිෂන් කියන කාරණාව ඇතුළේ අද හොඳ නිර්මාණ බිහිවෙන්නේ නැහැ.
-ඔබට වඩා පූජා ජනප්‍රියයි කියා හිතෙන්නේ නැතිද?
මම කැමැති නැහැ වෙන නළු නිළියන් ගැන කතා කරන්න. මම කළ වැඩ සහ නිර්මාණ ගැන කතා කරන්න ඕනෑම වෙලාවක ලෑස්‌තියි. අවුරුදු විසිහතක් තුළ මට ප්‍රේක්‍ෂක ආදරයක් ගොඩනැගිලා තියෙනවා. තවමත් ඒ ආදරයේ අඩුවක් නැහැ.
-මේ දිනවල මොකද කරන්නේ ?
මේ කතා කරන මොහොතේ නම් කිසිදු නිර්මාණයක් භාරගෙන නැහැ. ඉදිරියේදී දායක වෙන්න නිර්මාණ කිහිපයක පිටපත් ලැබිලා තියෙනවා. ලබන මාසයේ දෙවැනිදාට මම දායක වුණ ට්‍රොජන් කාන්තාවෝ නාට්‍යයට වසර පහළොවක් සපිරෙනවා.
දිනේෂ් විතාන
ඡායා-සමන් අබේසිරිවර්ධන