2018 වනවිට මාත් පාර්ලිමේන්තුවේ.. දැනටත් යාළුවන් කතා කරන්නේ ඇමැතිතුමා කියලා..

* මේ දවස්වල ඔබේ රඟපෑම් මොනවගේ ද?
හිරු ටී.වී. හි ‘ස්නේහා’ ස්වාධීන රූපවාහිනියෙන් ‘වාසුලිකන්ද’ සහ දෙරණ නාළිකාවේ ‘දේදුනු’ සිරස ටී.වී. හි ‘සිත්තරාවී’ කියන ටෙලිනාට්‍ය කීපයම මේ දවස්වල විකාශය වෙනවා.
* වෘත්තියෙන් රංගන ශිල්පියෙක් වීම ගැන මොකද හිතෙන්නේ?
අවංකවම ආඩම්බර වෙනවා. රංගනයේදී මම බොහොම තෘප්තිමත් නළුවෙක්. මොකද රංගනය කියන වෘත්තිය හරියට සතුටු වෙන්න පුළුවන් කලාවක්. මිනිසුන්ගේ ආදරයට ගෞරවයට නිබඳවම අපි පාත්‍ර වෙනවා‍. ඒ වගේ ම හොඳ ආර්ථික පසුබිමක් හදාගන්න පුළුවන් වෘත්තියක්.
පෙම්වතාගේ චරිතය දැන් ‍ඔබට අහිමි වෙලා ද?
එහෙම තත්ත්වයක් මම දකින්නෙ නැහැ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් දශක එක හමාරකට ආසන්නයි. ඒ කා‍ලයේදී මම මගේ ජනප්‍රියත්වය හදාගත්තා. පෙම්වතා ලෙස රඟපෑවා. කොහොමත් ඔය කියන ඕලාරික සාමාන්‍ය පෙම්වතාගේ චරිත රඟපාන්න මට දැන් ආසාවක් නැහැ. මම කැමැති චරිතාංග නළුවෙක් වෙන්න. ක්ෂේත්‍රයට එන කාලේ ඕනම තරුණ රංගන ශිල්පියෙක් ගේ ආසාව තමා ඒ ක්ෂේත්‍රයේ ජනප්‍රියවීම සහ අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට පදනම දා ගැනීම. ඒ දේවල් මම ක්ෂෙත්‍රයට ආ මුල් කාලේ කළා. ටෙලිනාට්‍යවල පෙම් කරපු කාලෙ දැන් ගියා. දැන් අපි අයියල වෙලා. දැන් පෙම්වතුන් ලෙස අලුත් මල්ලිලා ක්ෂේත්‍රයේ ඉන්නවා. මම කැමැති මගේ අනන්‍යතාවයට ගැළපෙන චරිත රඟපාන්නයි.
* ඔබ රංගන ශිල්පියෙක් නොවුණා නම් කවරෙක් වේවිද?
මම ඉගෙන ගත්තේ වෛද්‍යවරයෙක් වීමට බලාපොරොත්තුවෙන්. ඒ නිසා තමයි උසස් පෙළ විෂය ධාරාවට ජීව විද්‍යාව හැදෑරුවේ. ඒත් නොහිතපු විදිහට රංගන වෘත්තියට එන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙය බොහෝ වරප්‍රසාද, වරදාන ලැබෙන උතුම් වෘත්තියක්.
* රංගන ශිල්පියෙක් විදිහට රැ‍ඳෙන්න අවශ්‍ය කරන දේවල් මොනවාද?
මේ ක්ෂේත්‍රයට පිවිසෙන විට අවබෝධ කර ගත යුතු දෙයක් තමයි මෙය වෘත්තියක් බව‍. විනෝදාංශයක් නොවන බව. රංගනය කියල කියන්නේ වෙන වෙන අනවශ්‍ය දේවල් කරන්න පුළුවන් ආයුධයක් නොවන බවත් අවබෝධ කරගත යුතු වෙනවා.
* ප්‍රේක්ෂකයන් නිසා අපහසුතාවයට පත්වූ අවස්ථාත් ඇති?
අනන්තවත් එවැනි අවස්ථා තිබෙනවා. ඒ හැමදේම අපිට තියෙන ආදරේටනෙ ‍ඔවුන් කරන්නේ කියන එක මම දන්නවා. හෙමිහිට ඒවායින් ගැලවී යන්න මට හැකියාව තිබෙනවා.
* ආදරේ ගැන ඔබට හිතෙන්නේ ‍කුමක්ද?
මිනිසුන් විදිහට අපිට අවශ්‍ය ජීවිතයට නැතුවම බැරි දෙයක් තමයි ආදරය. මට නම් ආදරේ ඇතිවෙන්නම ලැබෙනවා. මොකද මුළු රටක් ම ආදරේ කරන නිසා.
* මේ ක්ෂේත්‍රයේ කටයුතු කරද්දී තරුණ නළු නිළියන් අතර ප්‍රේම සබඳතා ඇතිවෙනවා.‍ මෙවැනි සබඳතා ඔබට තිබුණේ නැද්ද?
මට නම් එවැනි සබඳතා ඇතිවෙලා නැහැ. අනේ මං දන්නැහැ මොකක්ද හේතුව සීමාව පන්නලා කා සමඟවත් වැඩි ඇසුරක් මගේ නැහැ. ඒත් ඉදිරියේදී නම් කියන්න බැහැ. ඒ සීමා මායිම් කඩාගෙන යන වෙලාවක් එන්න පුළුවන්. මොකද අපි පෘතග්ජන මිනිසුන්නේ.
* ඇත්තටම ඇයි ඔබ තවමත් විවාහ නොවී ඉන්නේ.
මම කිසිම දවසක කියලා නැහැ විවාහ වෙන්නේ නැහැ කියලා. මම විවාහ වෙනවා. විවාහය කියන එක කෙනෙක් ගේ ජීවිතයේ කවදා කොතැන කොහොම සිදුවෙනවද කියලා කියන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය කරන දේවල් බොහොමයක් තිබෙනවා. සමහ‍රෙකුට ඒ දේවල් තරුණ කාලෙදිම ලැබෙනවා. මගේ විවාහයක් නිසි කලට සිදුවේවි.
ඔබ ඔ‍ෙබ් පෙම්වතියගෙන් බලාපොරොත්තු වන මූලිකම දේවල් මොනවද?
කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම එක දෙයයි ඇගෙන් බලාපොරොත්තුවෙන්නේ. මම තරමක් අමුතු විදිහට හිතන පතන කෙනෙක්. ඇය ‍ඒ දේ තේරුම් ගත්තොත් මම තරම් හොඳ පෙම්වතෙක් ඇයට ඇත්තේ නැහැ කියලයි මම හිතන්නේ. මම වැරැදි වැඩ කරන කෙනෙක් නෙමෙයි. පවුලට නරකක් කරන කෙනෙක් නෙමෙයි. මාව හරියට තේරුම් ගැනීම පමණයි ඇගෙන් මා බලාපොරොත්තු වන්නේ.
* ඔබ විලාසිතාවලට කැමැතිද?
ඔව්. මම විලාසිතා කරන කෙනෙක්්‍. මට ආවේණික වුණු හරියටම මට සුදුසුයි කියලා හිතෙන විලාසිතා කරන්න මම දෙවරක් හිතන්නේ නැහැ. අනුන්ගේ උසුළු විසුළුවලට ලක්වෙන විලාසිතා නම් මම කරන්නේ නැහැ.
* ටෙලිනාට්‍ය කලාවට ඔබ දායක වන තරමට සිනමාවට දායක වීමට ඔබට ලැබුණු අවස්ථා අඩුයි. ඒ ඇයි?
‘සෙල්වම්’ චිත්‍රපටයේ මම රඟපෑවා.‍ එය තවමත් ප්‍රේක්ෂක මතකයේ තිබෙනවා. පසුගිය දවස්වලත් තවත් චිත්‍රපට කීපයකට දායක වුණා. මම ඒ ගැන තෘප්තිමත්.
* බොහෝ රංගන ශිල්පීන් වගේ ඔබත් දේශපාලනයට අවතීර්ණ වේවිද?
දේශපාලනයට අනිවාර්යයෙන් ම යන බව මගේ කේන්දරේ කියලා තියෙනවා. මම ඒ ක්ෂේත්‍රයට ආසාවක් නැති වුණත් හුඟ දෙනෙක් කියන්නේ 2018 වනවිට මමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. දැනටත් මගේ හිතවත් මන්ත්‍රීවරුන් යාළුවන් මට විහිළුවට කතා කරන්නේ ඇමැතිතුමා කියලයි.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
සිළුමිණ

Comments