අපිව බේරන්නැත්නම් උසාවියේදී එස්බී ගේ නම කියනවා - කිංචිගුණේ බණ්ඩාර
පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයෙහි අට්ටාලයට පහරදීම උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායකගේ කොන්ත්‍රාත්තුවකට අනුව සිදුවූවක් බවට තොරතුරු හෙළිවෙමින් පවතී.
මෙම තොරතුරු හෙලිදරව් වී ඇත්තේ ප්‍රහාරයට සම්බන්ධවූවන් තමන්ට රැකවරණය ලබාදීමට එස්.බී.දිසානායක ඇමතිවරයා මඟ හරින්නේ නම් ඒ සම්බන්ධයෙන් උසාවියේදී අදාළ තොරතුරු සියල්ල හෙළිකරන බවට සන්ධානයේ සබරගමු පළාත් සභා මන්ත්‍රී නීතිඥ භාණු මුනිප්රිය වෙත පැවසීමත් සමගය.
ඒ අනුව මෙම පහරදීමේ සිදුවීම මුල සිටම හෙලිදරව් වී ඇති අතර අදාළ ප්‍රහාරය මෙහෙය වීම සදහා එස්.බී දිසානායක විසින් භාර දී ඇත්තේද පළාත් සභා මන්ත්‍රී භාණු මුනිප්රිය වෙතය. ඔහු විසින් ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී ඉන්දික ජයමාන්න වෙත අදාල කොන්ත්‍රාත්තුව භාරදී ඇති අතර පිරිස එකතු කර ගැනීමෙන් අනතුරුව අදාළ පිරිසට ඇමැතිවරයා විසින් දුරකථනයෙන් අමතන බවද පවසා ඇත.
ඒ අනුව ඉන්දික ජයමාන්න විසින් අදාළ පිරිස එකතුකොට ඇති අතර ඔවුන් එක් කරගැනීමට ඔහු භාවිතා කොට ඇත්තේ අදාල පිරිසට දේශපාලන හිතවත්කම් මත ලබාදුන් පත්වීම් පිළිබද සිහිපත් කරමිනි. කෙසේ නමුත් අදාළ පත්වීම් ලද පිරිස් මේ සදහා එකතු වී ඇති අතර ඒ අතර සබරගමුව විශ්වවිද්‍යාලයට එස්.බී.දිසානායකගේ මැදිහත්වීමෙන් පත්වීම් ලබාදුන් පිරිසක්ද සහභාගී වී ඇත.
පැමිණි පිරිස අතර කිංචිගුනේ බණ්ඩාර, පරාක්‍රම , මොහාන්, ජයලාල් (මොහු හා මොහුගේ බිරිද සබරගමුව විශ්වවිද්‍යාලයෙහි දේශපාලන පත්වීම් ලැබූවන් වේ ) හා නැදුන්ගම සරත් යන අය වේ. අදාළ පිරිස 22කින් පමණ සමන්විත වූ අතර ඔවුන්ට අදාළ දිනයේ සවස එස්.බී.දිසානායක විසින් දුරකථනය මගින් පහරදීම පිළිබදව ස්පීකර් ෆොන් යොදා පවසා ඇත්තේ කිසිදු දෙයකට බිය නොවන ලෙසත් පහරදී අට්ටාල කඩා ගිනි තබා විනාශ කර උන් පන්නා දමන ලෙසත්ය. මේ සදහා පොලීසියෙන් කිසිදු බාධාවක් නොවන බවත් පොලීසියට තමන් කතා කොට ඇති බවත් පවසා ඇත.
එමෙන්ම එම මොහොතේ පිරිසට කතා කොට භාණු සදහන් කොට ඇත්තේ ප්‍රහාරයෙන් පසුව කෙසේ හෝ උසාවී යාමට සිදුවුවහොත් තමන් බලංගොඩ උසාවියෙහි සියලු දෙනා දන්නා බැවින් සිසුන් වෙනුවෙන් කිසිවෙකු කතා කිරීමට ඉදිරිපත් නොවීමට වග බලාගන්නා බවත්ය.
අනතුරුව භාණුට එස්.බී.දිසානායක විසින් ලබාදී තිබූ ආයුධ දෙකක්ද ප්‍රහාරයට යොදාගෙන ඇති අතර ඒවා භාවිතා කොට බිය ගැන්වීම පමණක් සිදුකරන ලෙස ද එස්.බී. විසින් අදාළ පිරිස දැනුවත් කොට ඇත.
ඒ අනුව ප්‍රහාරය දියත් වූ අතර සිසුන්ට පහරදී අට්ටාලය කුඩු කරනු ලැබූ පිරිස එයට ගිනි තබන ලදී. අනතුරුව ඒ අසල තිබූ සුමනේ නමින් හදුන්වන පුද්ගලයෙකුට අයත් ත්‍රීවීලර් රථයකට පහරදී මේ පිරිස පළාගොස් ඇත.
එස්.බී. අණ කළ පරිදිම බලංගොඩ පොලීසියෙහි ස්ථානාධිපතිවරයා සමනල වැව පොලිස් මුරපොලෙහි නිලධාරීන්ට මෙම සිදුවීමට හවුල් නොවන ලෙසත් එය එස්.බී.දිසානායක ඇමැතිවරයාගේ වැඩක් බවත් සදහන් කොට ඇත.
ප්‍රහාරයෙන් පසු මේ පිරිස පැන ගිය අතර සුමනේ නමින් හදුන්වනු ලැබූ ප්‍රහාරයට ලක්වූ ත්රීවිලර් රථයේ අයිතිකරු විසින් සැකකරුවන් දෙදෙනෙකු පිළිබද පොලීසියට ප්‍රකාශ ලබාදීමත් සමග තත්වය වෙනත් අතට පත්වන්නට පටන් ගෙන ඇත.
ඒ අනුව මේ වන විට සැකකරුවන් කිසිවෙකු විසින් ලබාදෙන දුරකථන ඇමතුම්වලට එස්.බී.දිසානායක විසින් පිළිතුරු ලබා නොදෙන අතර එසේ ලබා දෙන ඇමතුම් සියල්ල එස්.බී. ඇමතිවරයා විසින් විසන්ධි කරනු ලබන්නේය.
මේ හේතුවෙන් අදාළ සැකකරුවන් සියල්ල මේ වන විට පොලීසියට හෙළිදරව් වී ඇති අතර ඇමතිවරයා විසින් පොලීසියටද අදාළ සැකකරුවන් අත්අඩංගුව ගැනීම සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ කොට නොමැත. මේ හේතුවෙන් පොලිස් මූලස්ථානයෙන් බලංගොඩ පොලීසිය ලද අණකිරීමට අනුව සැකකරුවන් සොයමින් සිටී.
මොවුන් සියලු දෙනා ප්‍රදේශය හැර ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගත හොත් ඔවුන් වසර 3කට නොව දින 14 කට සිරදඩුවම් නියමවුවද මේ ප්‍රහාරය එස්.බී.දිසානායක ඇමැතිවරයාගේ වැඩක් බව උසාවියේදී හෙළිදරව් කරන බවට කිංචි ගුණේ ඇතුළු පිරිස භාණු නැමැති පළාත් සභා මන්ත්‍රීවරයාට දුරකථනයෙන් දැනුම්දී ඇති බවටද තොරතුරු වාර්තාවේ.