උදාරි වර්ණකුලසූරියට ඇප


රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ ගුරුගොඩදී පෙරේදා (01) රාත්‍රී වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය මහත්මිය ‍පොලිස් ඇප මත මුදාහැර ඇත. ඇය විසින් පදවන ලද මෝටර් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු මේ වනවිට හොරණ මූලික රෝහ‍ලේ ප්‍රතිකාර ලබයි.

බලංගොඩ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි උදාරි වර්ණකුලසූරියට මෙම අනතුරින් කිසිදු තුවාලයක් වී නොමැත. ඇගේ රියේ ගැටී ඇත්තේ ගුරුගොඩ පුද්ගලික ආයතනයක සේවයේ නියුතු සේවක මහතෙකි. නිළිය පදවාගෙන ආ මෝටර් රථය, යතුරු පැදියේ ගැටී නැවත විදුලි කණුවකද ගැටීමෙන් රථයට දැඩි හානි සිදුවී ඇත.


අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තවත් පුද්ගලයකු සිටි බවත් ඔහුටත් කිසිදු අනතුරක් සිදුනොවූ බව ‍පොලීසිය පවසයි. මෝටර් රථය පදවාගෙන ආ උදාරි වර්ණකුලසූරිය මහත්මියට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බවට ‍පොලීසිය සැකකරයි. රිය අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව යටතේ ඇයට නඩු පවරා ඇති අතර නොවැම්බර් මස 15 දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට පෙනී සිටීමට නියමිතය.
හොරණ මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක පද්ම කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු පැවැත්වේ.


Comments