මෛත්‍රීගේ සන්ධානය අපේ ජාතික පෙරමුණ - සලකුණ දුරකථනය?
ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත නියමිත මෛත්‍රීපාල සිරිසේන මහතා 'අපේ ජාතික පෙරමුණ' නමින් වූ පුළුල් පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව වාර්තාවේ. පොදු අපේක්ෂකයාගේ ඡන්ද සලකුණ 'දුරකථනය' වනු ඇති බවද වාර්තාවේ.
පක්ෂයේ නම වන 'අපේ ජාතික පෙරමුණ' නම යොදා ගනිමින් එය පුළුල් සන්ධානයක් ලෙස පොදු අපේක්ෂකයා කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් වී ඇති බවද වාර්තාවේ.'අපේ ජාතික පෙරමුණ' (Our National Front) දේශපාලන පක්ෂයක් ලෙස 2009 වසරේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී පවතින පක්ෂයක් වන අතර එම පක්ෂයේ සභාපතිවරයා ලෙස මංගල සමරවීර මහතාත් පක්ෂයේ ලේකම්වරයා ලෙස රුවන් ෆර්ඩිනැන්ඩස් යන මහත්වරු කටයුතු කරමින් සිටියහ.
මේ අතර, 'අපේ ජාතික පෙරමුණ' පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා ඊයේ (23දා) වන විට එම තනතුරින් ඉල්ලා අස් වී ඇති බවද ඉදිරි දින කීපය තුළ දී එම පක්ෂයේ සෙසු තනතුරු රැසක ද වෙනස් වීමක් සිදුවනු ඇති බව ද වාර්තාවේ.
මේ අතර, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව ඇති අවස්ථාවක යම් දේශපාලන පක්ෂයක සලකුණ හා පක්ෂයේ භාවිත නාමයේ යම් වෙනසක් සිදු කළ හැකිද යන්න පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව යම් පක්ෂයකින් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් නීති පොත් පෙරලා බලා ඊට අදාළ කටයුතු කරන බවයි. පක්ෂයක නාමයක් හෝ සලකුණක් වෙනස් කිරීම අදාළ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව කළ යුතු කාර්යයක් බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
Comments