පෙම්වතාට පිහියෙන් ඇන්න පෙම්වතිය පොලිසියට බාර වේ
මීට මාස දෙකකට උඩදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී 21 හැවිරිදි සිය පෙම්වතාට පිහියෙන් බඩට ඇන තුවාල සිදුකර අතුරුදන්ව සිටි 20 හැවිරිදි පෙම්වතිය පොලිසියට පැමිණ (18 වැනිදා) භාරවූ බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
මහඔය පදිංචි පෙම්වතිය බොරලැස්ගමුව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිට ඇත. පෞද්ගලික සමාගමක සේවය කරන පෙම්වතා මීට වසර එකහමාරකට උඩදී සැකකාරිය සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇත.
පසුව පෙම්වතා ඔහුගේ දෙමාපියන්ටත්, පෙම්වතිය ඇගේ දෙමාපියන්ටත් මෙම සම්බන්ධය පවසා තිබේ. දෙදෙනාම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සිට ඇත. පෙම්වතා සිය දෙමාපියන් සමග මහඔය පදිංචි පෙම්වතියගේ නිවසට ගොස් තිබේ. මෙහිදී පෙම්වතියගේ නිවස හා පවුල් පසුබිම බැලීමේදී ඉතා දුප්පත් පවුල් පසුබිමක් ඇති අය බව එම පෙම්වතාටත්, ඔහුගේ දෙමාපියන්ටත් අවබෝධ වී ඇත.
පසුව යළි කොළඹ පැමිණි පෙම්වතා එම සම්බන්ධය නතර කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඒ ගැන කතා කිරීමට බොරලැස්ගමුව එක්තරා තැනකට පැමිණෙන ලෙසට පෙම්වතියට දැනුම් දී තිබේ. ඒ අනුව කෝපයෙන් එහි ගිය පෙම්වතිය සිය පෙම්වතාට පිහියෙන් ඇන ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
පොලිසියට භාර වූ සැකකාර පෙම්වතිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.
මේ පිළිබඳව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හැරිසන් හෙට්ටිහේවා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සනත් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
Comments