සුන්දර කාන්තාවන් රවටා ගෙන ගොස් නිරුවත් දසුන් වීඩියෝ කර විකුණූ යුවළ අත්අඩංගුවට

පාදුක්‌ක ගලගෙදර ප්‍රදේශයේ කාන්තාවකගේ ස්‌ථානෝචිත ප්‍රඥාවත් පාදුක්‌ක පොලිස්‌ නිලධාරීන්ගේ සූක්‍ෂම ක්‍රියා මාර්ගයත් නිසා සිය අනියම් සැමියාද සමගින් එකතුව කාන්තාවන් ඡායාරූපගත කර අලෙවි කිරීමේ ජාවාරමක්‌ හෙළි කර ගැනීමට හා සැකකාර යුවළක්‌ අත්අඩංගුවට ගැනීමට පාදුක්‌ක පොලිස්‌ නිලධාරීන් පසුගියදා සමත් වී ඇත.


ආරක්‍ෂක අංශයේ නිලධාරියෙකුගේ බිරිඳක්‌ වන ඇය සිය විදේශ සේවය නිමා කොට පසුගියදා ලංකාවට පැමිණි අයෙකි.


මේ අතරතුර සිය විදේශ සේවයේ මාස 4 ක හිග වැටුප් ලබා ගැනීම සඳහා ගල්කිස්‌සේ රැකියා ඒජන්සියට ගොස්‌ ඇති අතර එදින ඒ සම්බන්ධ අදාළ බලධාරියා එහි සේවයේ සිට නොමැති හෙයින් එහි සිටි වෙනත් නිලධාරියෙකු මගින් එම නිලධාරියාගේ දුරකථන අංකය ඉල්ලා ඇති අතර ඇය දුරකථන අංකය පවසන මොහොතේ එම ස්‌ථානයේ තවත් පිරිසක්‌ද

සමගින් සැකකාර කාන්තාවද රැඳී සිට ඇත.


හොර රහසේ ඇයගේ දුරකථන අංකය සටහන් කර ගත් එම සැකකාර කාන්තාව ගලගෙදර කාන්තාවට දුරකථන ඇමතුමක්‌ දී හිතවත්කමක්‌ ගොඩනගා ගෙන ඇත. ඉවෙන් මෙන් සැකකාරිය පිළිබඳ තේරුම්ගෙන ඇති ඇය දුරකථන ඇමතුම්වලට පිළිතුරු දී ඇත්තේ ඉතා ඥානාන්විතවය. 


එසේ හිතවත්කමක්‌ ගොඩනගා ගන්නා ඇය අනතුරුව ගලගෙදර කාන්තාවට අනියම් ඇසුරකට ආරාධනා කර ඇත.


මේ අනුව එම කටයුත්තට දින වෙන්කර ගන්නා සැකකාර කාන්තාව සිය සැමියාද මේ දර්ශන නැරඹීමට ආශාවක්‌ දක්‌වන බව පවසමින් ඔහුද මෙදිනට කැටුව ඒමට අවසර ඉල්ලා සිටී.


මේ සියලු දුරකථන ඇමතුම් පටිගත කර ගන්නා ගලගෙදර කාන්තාව සිය සැමියාද සමගින් පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානයට පැමිණ සැකකාර යුවළ පිළිබඳ පැමිණිලි කර ඇත.


ඒ අනුව ක්‍රියාත්මක වන පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බිමල් පෙරේරා මහතා සිය නිලධාරීන් මෙහෙයවා උපායශීලීව පසුගියදා සැකකාර යුවළ පාදුක්‌ක මීපේ නගරයට ගෙන්වාගෙන එහිදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වීමේදී අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට මත්ද්‍රව්‍ය, කැමරා උපකරණද ළග තිබී ඇත.


කාන්තාවන්ගේ නිරුවත් දර්ශන හා අසැබි දර්ශන වීඩියෝගත කිරීම, අලෙවි කිරීම මොවුන් පුරුද්දක්‌ වශයෙන් කරගෙන ගොස්‌ ඇතැයි එහිදී හෙළි වී ඇත.


සැකකාර කාන්තාව වේරහැර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සැකකරු බණ්‌ඩාරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.


පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බිමල් පෙරේරා, ළමා හා කාන්තා පොලිස්‌ අංශයේ ස්‌ථානාධිපති කා. පො. සැ. 4519 පුෂ්පා, පො. කො. (40949) කුමාර ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

Comments