දැරිය අතහැර අනියම් සැපවිඳි මවටත් පියාටත් ඇප!



බාල වයස්කාර දැරියක් අතහැර දමා ගොස් අනියම් සබඳතා පැවැත්වු බවට චෝදනා ලැබ සිටි එම දරුවාගේ පියා සහ මව ඇපමත මුදාහැර තිබේ. 

කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත. 

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පියා සහ වරෙන්තු මත සිට අධිකරණයට භාර වු මව රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇපමත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. 

එමෙන්ම සැකකරුවන් දෙදෙනාට යළි ලබන 07 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. 

නිවසේ තනිකර දමා ගිය දැරිය පසුව අසල්වැසි තරුණයෙකු විසින් බරපතළ ලෙස අපයෝජනයට ලක්කර ඇති බවට වු තවත් නඩුවක් අධිකරණය හමුවේ පවතින බව ද ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිවරයා විසින් අධිකරණයට දැනුම්දී තිබේ. 

මේ හේතුවෙන් අදාළ දැරිය තවදුරටත් පරිවාස භාරයට පත්කර එම දැරියගේ මානසික තත්ත්වය වර්ධනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 

තම බාල වයස්කාර දැරිය අතහැර දමා අනියම් සබඳතා පැවැත්වු බවට සහ එම දැරියගේ භාරකාරත්වය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අධිකරණයට වසන් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් සැකකාර අඹුසැමි යුවළට චෝදනා එල්ල වී තිබේ.