Skip to main content
"අනේ බුදු මහත්තයෝ, පින් සිද්ද වෙයි අපිව ගන්න රත්තරන් මහත්තයෝ, පින් සිද්ද වෙයි අම්මට, තාත්තට," සිරියාවේ යුද ගැටුම්වලට කොටු වී සිටින වර්ණකුලසූරිය මිරිසගේ එලිසබෙත් කුමාරි ප්‍රනාන්දු දුරකථනයෙන් මා අමතමින් බැගෑපත් ඉල්ලීමක් කලේ එලෙසින්.
"අපි හරියට දුක් විඳිනවා. කන්න බොන්න නැහැ, තැනින් තැන, තැනින් තැන ඉන්නේ. සහනාධාරවලින් තමයි කන්නේ බොන්නේ."
දමස්කස් නගරයේ සේවය කළ නිවසට ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව එම නිවස විනාශ වූ බව පවසන ඇය, ඉන් අනතුරුව තමන්ට හමු වූ සිරියානු ජාතික දිළිඳු පවුලක් සිය උපකාරයට ඉදිරිපත් වූ බව පවසන්නීය.
"මැරෙන්න බැරි නිසා තැනින් තැන හැංගි, හැංගි ඒ මනුස්සයෝ කොහෙද යන්නේ මාවත් එක්ක ගෙන යනවා."
ගැටුම්වලට කොටු වුවත්, ගැටුම් සමීපයේම සිටියත් 'දෙවියන්ගේ පිහිටෙන්' මෙතෙක් තමන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බවත් ඇය පවසන්නීය.
පොලව යට කාමරයක
යුද ගැටුම්වලින් මිදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට උපකාර කරන මෙන් එලිසබෙත් කුමාරි ප්‍රනාන්දු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙත පණිවුඩයක් යොමු කොට තිබුණි. ඒ පිළිබඳව මන්ත්‍රීවරයාගෙන් තොරතුරු සැලවීමෙන් අනතුරුවයි, දුරකථනයෙන් මා ඇය ඇමතුවේ.
මධ්‍යම සිරියාවේ හමා නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පසු
තමන්ට උපකාර කරන සිරියානු පවුලේ සාමාජිකයන්ද සමඟ ඒ අවස්ථාවේ ඇය සිටියේ දමස්කස් අගනුවර සිට කිලෝමීටර 200 ක් පමණ උතුරින් පිහිටි හමා නම් නගරයේ.
"අපි ඉන්න තැනත් - හමා කියන ගමේ - කියල තියෙන්නේ ගහන්න යනවා, තවත් කොහාට හරි යන්නයි කියල."
එබැවින් මේ මොහොතේත් හමා නගරයේ නිවසේ පොලව යට පිහිටි කාමරවල සැඟවී සිටීමට ඔවුන්ට සිදු වී තිබෙන බවත් ඇය පවසන්නීය.
අපි හරියට දුක් විඳිනවා. කන්න බොන්න නැහැ, තැනින් තැන, තැනින් තැන ඉන්නේ. සහනාධාරවලින් තමයි කන්නේ බොන්නේ
සිරියාවේ යුද ගැටුම්වලට කොටු වී සිටින එලිසබෙත් කුමාරි
තමන් ඇතුළු ශ්‍රී ලාංකික කාන්තාවන් තිහකට ආසන්න පිරිසක් සිරියාවේ යුද ගැටුම්වලට කොටු වී සිටින බවත් එලිසබෙත් කුමාරි ප්‍රනාන්දු පවසන්නීය. මුලදී ඒ සියලු දෙනා සමඟම දුරකථනයෙන් සම්බන්ධ වුවත් දැන් දුරකථනයට මුදල් සොයා ගැනීම පවා දුෂ්කර බැවින් ඔවුන් අතර සම්බන්ධතා දැන් ගිලිහී ගිහින්.
යුද ගැටුම්වලට මැදිවුවත්, ඇය දන්නා හඳුනන අනෙක් ශ්‍රී ලාංකික කාන්තාවනුත් නිරුපද්‍රිතව සිටින බවයි එලිසබෙත් කුමාරි පවසන්නේ.
මීගමුව වාසිනියක වන ඇය සිරියාවට පැමිණ තිබෙන්නේ මීට වසර හතරකට ඉහතදී. කුඩා කලදීම දෙමවුපියන් මියගිය බවත්, ඉතිරිව සිටි සොහොයුරියන් දෙදෙනාගෙන් එක් සොහොයුරියක් සුනාමි රළ පෙළ විසින් ගිලගත් බව ඇය සිහිපත් කළේ දැඩි වේදනාවකින්.
සිරියාවේ ගැටුම් උත්සන්නවීමත් සමඟම එලිසබෙත් වැනි අනාථයන්ට උපකාර කරමින් සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරීනුත් මින් මාස හයකට පමණ ඉහතදී රටින් පිටවී ගිහින්.
කොටු වී සිටින ශ්‍රී ලාංකිකයන්ට උපකාර පැතීමට තිබෙන එකම ස්ථානය අසල්වැසි ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය. එහෙත් ඔවුන් ඇමතීම සඳහා දුරකථනයට ගෙවීමටත් ඇය සතුව කිසිදු මුදලක් අතේ නැහැ.
"අනේ බුදු මහත්තයෝ, පින් සිද්ද වෙයි අපිව ගන්න රත්තරන් මහත්තයෝ," එලිසබෙත් කුමාරි කළ බැගෑපත් ඉල්ලීම මේ සටහන නිමා කරද්දීත් යළි යළිත් මා මනසේ දෝංකාර දෙන්නක්.
(සිරියාවේ හමා නගරයේ කොටු වී සිටින එලිසබෙත් කුමාරි සමඟ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ අනුවේදනීය සංවාදයක සංක්ෂිප්ත සටහන)