රහස්‌ පොලිස්‌ වෙස්‌ගෙන පාසල් සිසුවකු පැහැරගෙන ගොස්‌ අතවරකරද්දී හමුදා සෙබළා අත්අඩංගුවට....



රහස්‌ පොලිසියේ නිලධාරියෙකු ලෙස පෙනී සිට පරික්‍ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් පාසල නිම වී නිවෙස කරා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු පාළු නිවසකට රැගෙන ගොස්‌ නිරුවත් කොට බරපතළ ලිංගික අපරාධයක්‌ කරමින් සිටි හමුදා සෙබළකු ගම්වාසීන් විසින් අල්ලා ගම්පොල පොලිසිය වෙත බාරදී තිබේ.

ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් මෙම සෙබළා ඔඩ්ඩුසුඩාන්වල සේවය කරන අතර නිවාඩුවට නිවසට පැමිණ සිටියදී මෙම පාසල් සිසුවා බිය කර මෙම අපරාධය සිදු කොට 
තිබේ.

26 හැවිරිදි අවිවාහක මොහු පාසල් සිසුන් ඉලක්‌ක කොට ගෙන කාලයක්‌ තිස්‌සේ මෙම අපරාධය සිදු කොට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති අතර එයට ඇබ්බැහි වී ඇති අයෙකුද වන බව පැවසේ.

ගම්පොල ප්‍රසිද්ධ පාසලක සිසුවකු වන මෙම 16 හැවිරිදි සිසුවා නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසා සිය පියා ඇතුළු ගම්වාසීන් සොයා බැලීමේදී ගම්පොල කහටපිටිය දේවරාජ මාවතේ පැරැණි දුම්රිය නිවසක මෙම සිසුවා හා හමුදා සෙබලා නිරුවතින් සිටියදී සොයාගෙන තිබේ.

පාසල් සිසුවා ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර පහර දීමක්‌ නිසා මෙම සැකකරුද රෝහල් ගතකොට ඇත.

සැකකරු ගම්පොල මහෙස්‌ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඊයේ 
(30 දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගම්පොල කොට්‌ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණී පෙරේරා ප. පො. අ චුලනි වීරරත්න යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රා. පො. පරීක්‍ෂක යාපා බණ්‌ඩාර ඇතුළු නිලධාරි කණ්‌ඩායමක්‌ වැඩිදුර පරික්‍ෂණ පවත්වති.

ගම්පොල - සුරංග දිල්හාන්