ප්‍රසන්නගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා කෘතියට ,
වාරණයක්
ජාත්‍යන්තර සම්මානයට පත් ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණයේ බොහෝ දර්ශන ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලය තමාට හදිසියේ දන්වා ඇති බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ පවසයි.
සිය චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට මුලදී අනුමැතිය පළ කර සිටි රැඟුම් පාලක මණ්ඩලය පසුව මෙවැනි තීරණයක් ගෙන ඇති බව සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ කියා සිටියේය.
අදාළ දර්ශන ඉවත් කිරීමෙන් සිය නිර්මාණය සම්පූර්ණයෙන්ම විකෘති වන බව පවසන අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ රැඟුම් පාලක මණ්ඩලයේ නව තීන්දුව සිය නිර්මාණය වාරණයට ලක් කිරීමක් ලෙසයි හැඳින්වූයේ.
“මේ චිත්‍රපටය පශ්චාත් යුද තත්වය විග්‍රහ කෙරෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇත්තටම ජාතීන් අතර එකිනෙකා අතර අවබෝධය වගේම ආදරය ඉල්ලා සිටින චිත්‍රපටයක්. එය කිසිදු පුද්ගලයකුට හෝ කිසිදු ආයතනයකට එරෙහි චිත්‍රපටයක් නෙවෙයි" යනුවෙන් ප්‍රසන්න විතානගේ සිය සිනමා කෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේය.
කෙසේ නමුත් ඒ පිළිබඳ රැඟුම් පාලක මණ්ඩලයේ බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවත් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂකවරයා සංදේශයට වැඩි දුරටත් කියා සිටියේය.