පියුෂාන් ගේ නීල නෙත් මානයට හසු වූ භාග්‍යා ඊයේ දෙවැනි ගමනේ



පුංචි තිරයෙන් ප්‍රේක්‍ෂකයන්ගේ අවධානය දිනාගත් භාග්‍යා ගුරුසිංහ පසුගිය සඳුදා (15 වැනිදා) කොළඹ හිල්ටන් හෝටලයේදී විවාහ දිවියට පත් විය. ඇගේ අත ගත් මනාලයා වූයේ පියුෂාන් රත්නායකයි. අද (18 වැනිදා) ඇගේ දෙවැනි ගමනයි. එය පැවැත්වෙන්නේ ලේක් සයිඩ් හෝටලයේදීය. ඇගේ නැවුම් දිවියත්, සිය ආදරවන්තයා හමු වූ අයුරුත් ඈ කියා පෑවේ මේ අයුරෙනි.

පියුෂාන්ව මුණ ගැහෙන්නේ කොහොමද?
ඒ මියුසික් වීඩියෝ එකකින්.


ඒ කියන්නේ?
ඔහු ගැයූ ‘ඔබේ නීල නෙත් මානයේ’ ගීතයට රූප රචනාවක් කරන්න ගිහින්.

ඊට පස්සෙ මොකද වුණේ?
‘ඔයා නිසා හ~ලා කියන ගීතයේ රූප රාමුවෙන් තමයි ඔහු මාව දැකලා තිබුණේ. ඒ අනුවයි ඔහුගේ ගීතයට මා තෝරා ගෙන තිබුණේ.

ගෙදරින් අවසරය ලැබුණාද?
මේ ගැන අහන්න මුලින්ම කතා කරලා තිබුණේ අම්මටයි. මුලින් නම් ඒකට අම්මා අකැමැති වුණේ ඔහුව නොදන්න නිසයි. ඒත් කොහොම හරි පසුව අම්මගෙන් ඒකට කැමැත්ත ලැබුණා.

රූප රචනාවක් ගිය දුර නේද?
ඒත් රූප රචනාව කාලෙදි නෙමෙයි ආදරයක් ඇති වුණේ.

එහෙනම් කොහොමද?
රූප රචනාවෙන් පස්සෙ ඔහු නිතරම අපේ අම්මත් සමඟ කතා කළා. ඒ විතරක් නෙවෙයි. අම්මගෙ හිත ගන්න තරම් එයා සමත් වුණා. ඒ අතර ඉඳලා හිටලා මටත් කතා කළා.

ඊළඟට ආදරෙයි කිව්වද?
මුලින්ම එයා මට එහෙම කිව්වේ නැහැ. මගේ ගමන් බිමන් ගැන හොයන්න ගත්තා. මට පැටියෝ කියලා කතා කළා. ඒත් මම පැටියෝ කියනවට කැමැති නැති නිසා, එහෙම කියන්නෙ ඇයි කියලා ඇහුවා.

ඔහු මොකද කිව්වේ?
එදා මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සෙ දවසකත් මා ගැන හෙව්ව නිසා මා ගැන මුකුත් අදහසක් තියාගෙනද හොයන්නේ කියලා මම ඇහුවා. ඊට පස්සේ ඔහු ඔව් කිව්වා. මම කිව්වේ අම්මගෙන් අහන්න කියල. ’

ඔහු අම්මගෙන් ඇහුවද?
දවසක් අම්මත් සමඟ කතා කරමින් ඉන්න අතරතුර ඒ ගැන අහලා තිබුණා. ඒ වන විටත් ඔහු අම්මාගේ හිත දිනාගෙනයි සිටියේ. ඒ වුණත් ගෙදර අයත් එක්ක කතා කරලා ඉන්න කියලා අම්මා පියුෂාන්ට කියලා තිබුණා.

පියුෂාන් එහෙම කළාද?
ඔව්, ඔහු අම්මගේ, තාත්තගේ කැමැත්ත අරගෙන ඒ අයත් එක්කම දවසක් අපේ ගෙදර ආවා.

දෙන්නගේ ආදරයට අවසරය හිමි වුණා?
දෙපැත්තෙම වැඩිහිටියන් කිව්වේ ආශ්‍රය කරලා ගැළපෙනවා නම් විවාහය දක්වා ගියාට ඔවුන්ගේ විරුද්ධත්වයක් නැති බවයි.

කාලයක් ගියාට පස්සෙ ගැළපෙන බව වැටහුණාද?
ඇත්තටම ඔහු මට බොහොම ආදරෙයි. මමත් පියුෂාන්ට ආදරෙයි. අපි දෙන්නගේ අදහස් වුණත් එක වගේමයි. ඒ විදියට අපි අවුරුදු දෙකක් ආදරය කළා.

ඊළඟට විවාහය තීරණය වුණාද?
දෙපැත්තෙන්ම ආශිර්වාදය හිමි වෙලා තිබුණ නිසා කේන්දර බලලා දින තීරණය කළා

විවාහයෙන් පස්සෙ රඟපානවද?
රඟපෑමෙන් ඈත්වෙලයි මා ඉන්නේ.

පියුෂාන් ඔබ රඟපානවට කැමැතිද?
ඔහු වැඩිපුරම කැමැති මම රඟනොපානවාටයි. මොකද ඔහු කතරගම දේවාලයේ තමයි සේවය කරන්නේ.

ඒ කියන්නේ භාග්‍යා සම්පූර්ණයෙන්ම රඟපෑමෙන් සමුගන්නවා?
ඒක කියන්න බැහැ. ඉදිරි කාලයේ ඒක වෙනස් වෙන්නත් පුළුවන්.

විවාහයෙන් පස්සෙ කතරගමද පදිංචි වෙන්නෙ?
අපෝ නැහැ. අපේ පදිංචියට අලූ‍ත්ම ගෙයක් හදලයි තියෙන්නේ. විවාහයෙන් පස්සෙ අපි ඒකෙ පදිංචියට යනවා.

ඔබව මනාලියක් ලෙස හැඩවැඩ කළේ කවුද?
පළමු දවසේ මාව හැඩ කළේ චම්පි සිරිවර්ධනයි. එදා මා සැරසුණේ උඩරට මනමාලියක් ලෙසයි. අද මා සැරසෙන්නේ ලස්සන ගවුමකින්. අද මාව හැඩ කරන්නේ රුචිරා ජයරත්නයි.

මල් කුමර, කුමරියෝ වගේම යහළු යෙහෙළියෝ කවුද?
දෙපැත්තටම සිව්දෙනා ගණනේ අට දෙනෙක් සිටියා. මගේ නංගී ඇතුළු යෙහෙළියන් කිහිපදෙනෙකුත්, පියුෂාන්ගේ නෑදෑයෝ කිහිප දෙනෙකුත් ඊට සහභාගි වුණා.

දෙවැනි දවසේ මංගල උත්සවය පැවැත්වෙන්නේ කොහෙද?
පියුෂාන් ගේ පැත්තේ මංගල උත්සවය පැවැත්වෙන්නේ ලේක් සයිඩ් හෝටලයෙදි.

පියුෂාන්ගේ අම්මා, තාත්තා මොකද කරන්නේ?
කතරගම දේවාලයේ තමයි සේවය කරන්නේ.

ඔහුගේ පවුලේ තව කවුද ඉන්නේ?
මල්ලි විතරයි.





Comments