කවුද මේ රිතු කියන්නේ?

නිර්මාණත් එක්ක අයුතු යෝජනාත් ආවා....

කවුද මේ රිතු කියන්නේ?

මම.

රංගනයට ආගන්තුක මූණක්?

ඔව්. රිතු තමයි මගේ පළමු ටෙලි නාට්‍යය.

ඒත් ඔබ කලාවට ඇවිත් ටික කාලයක් වෙනවා?

රගනොපෑවට මම මෝස්තර නිරූපණ ශීල්පිනියක් සහ නිවේදිකාවක විදිහට කටයුතු කරනවා. ඒ අතරතුරදියි රංගනයට ඇරැයුම් ලැබුණේ.

මොකක්ද ඔබේ ඇත්ත නම?

පියුමි හංසමාලි.

ඒ වුණාට දැන් බොහෝ දෙනෙක් ඔබව අමතන්නේ රිතු කියලා වෙන්න ඇති?

ඒක නම් හරි.

රිතු නමින් ජනප්‍රිය නිළියක් ඉන්නවා නේද?

ඔව්. එයා මගේ යාළුවෙක්.

ඒ රිතු සහ මේ රිතු ඉදිරියේදී පැටලේවිද දන්නේ නැහැ.

එයාගේ සැබෑ ලෝකයේ නමනෙ රිතු. රිතු වෙන්නේ නාට්‍යයේදී පමණයි. මම හිතන්නේ නැහැ අපිව එහෙම මාරු වේවි කියලා.

රගපෑම කොහොමද?

හරිම සුන්දරයි. ඒ වගේම නැවුම් අත්දැකීමක්.

කාත් එකක්ද හා හා පුරා කියලා රංගනයේ නිරත වුණේ?

අම්මා හැටියට රගපාන නිරෝෂා හේරත් අක්කා සමග.

මොකක්ද මුල්ම දෙබස?

‘අම්මා’ කියලා කතා කරන්න තිබුණේ.

හරියට කළාද?

ලොකු අවුලක් වුණේ නැහැ. ඒත් මට රංගනය හුරු නැති නිසා ටේක් එක මැද හිනා ගියා මුලදී. කැමරාව මෙහෙයවන රොෂාන් අයියාගෙන් අම්බානකට බැනුම් ඇහැව්වා ඒ හින්දා. දැන් ඒ තත්ත්වය අඩුයි.

පියුමිට මීට කලින් රංගනයට ආරාධනා ලැබිලා නැතිද?

අපොයි තියෙනවා.

ඇයි ඒවාට ගියේ නැත්තේ?

මට ඒ නිර්මාණවලට කතා කළේ මගෙන් වෙන දේවල් බලාපොරොත්තුවෙන්. මම කියන එක මොකක්ද කියලා තේරෙනවා ඇතිනෙ. නමුත් මම ඔවුන්ගේ අයුතු යෝජනාවලට අකැමැත්ත ප්‍රකාශ කළා. ඒ නිසා මට ඒ නිර්මාණ අහිමි වුණා.

එතකොට රිතු සඳහා දායක වුණේ එවන් බලපෑම් ආවෙ නැති නිසාද?

ඔව්. මට ඒ සඳහා අවස්ථාව ලැබුණේ පැතුම් රුක්ෂාන් මාර්ගයෙන්. ඔහු මට ශාන්ත සොයිසා මහත්මයාව හඳුන්වා දුන්නා. බොහොම වැදගත් විදිහට රිතු සඳහා ආරාධනා ලැබුණේ.

ශාන්ත පෙර අධ්‍යක්ෂණය කරපු නාට්‍ය බලලා තියෙනවාද?

මොකද නැත්තේ පබා නාට්‍යය මම කොටසක් නෑරම බැලුවා. ඒතරම්ම මම එයට ආස කළා.

කවදා හරි හිතුණාද ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ ප්‍රධාන චරිතයක් මවන්න වාසනාව උදා වේවි කියලා?

කොහෙත්ම නැහැ. පබා නරඹන කාලේ වුණත් හිතිලා නැහැ නිළියක් වෙන්න. හස්බන්ඩ් තමයි මෝස්තර නිරූපණයට යැව්වේ.

ඔබ විවාහකද?

ඔව්.

බොහොම අඩු වයසින් ඔබ විවාහ වෙලා?

ඒක මගේ කැමැත්තනේ. මට දැන් වයස අවුරුදු 23. මට සැමියාගෙන් හොඳ ආරක්ෂාවක් ලැඛෙනවා. මගේ කලා ගමනට ඒක ශක්තියක්.

මෝස්තර නිරූපිකාවක් වුණාම සෑහෙන්න කටකතා හැදෙනවා?

මටත් අනන්තවත් කතා හැදුණා. දැන් නම් ඒවා ගාණක් නැහැ.

මෝස්තර නිරූපිකාවක් දෙස සමාජය වපර ඇසින් බලන්නේ ඇයි?

මෙහෙමයි, එහෙම වෙන්නේ නූගත්කම හින්දයි. අපි දිහා බොළඳ විදිහට බලන්නේ නිසි අධ්‍යාපනයක් නැති මිනිස්සු. තරගයකට කොටට ඇන්දයි කියලා අපි පාරේ තොටේ යද්දී එහෙම අඳින්නේ නැහැනේ.

කවදා හරි ඔබේ දියණියක් මෝස්තර නිරූපිකාවක් වෙන්න ආසයි කිව්වොත්?

මම යන්න දෙන්නේ නැහැ. මං කැමැතියි එයාව වෙන ක්ෂේත්‍රයකින් ඉදිරියට යවන්න. මම ලබපු කටුක අත්දැකීම් එයාට දෙන්න සූදානම් නැහැ. වාසනාවට මට ඉන්නේ දුවෙක් නෙවේ පුතෙක්.

ඔබට වුවමනා වුණේ මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමද?

නැහැ. මම හිතාගෙන හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න.

එහෙම නොවුණු එක ගැන දැන් මොනවද හිතෙන්නේ?

සතුටුයි. ගුවන් සේවිකාවක් වුණා නම් ගුවන් යානයක හිරවෙලා තමයි මට ඉන්න වෙන්නේ.

රිතු නාට්‍යයේ ඔබ ප්‍රේමවන්තියක්. ඒක හින්දා ඉදිරියේදී කැමරාව ඉස්සරහා සෑහෙන්න අඩන්න වේවි?

අන්න ඒක තමයි මට තියෙන ගැටළුව. මට අඬන්න සෑහෙන්න අමාරුයි. ඒ වැඩේ පුරුදු වෙන්න වේවි.

රිතු නාට්‍යයේ රගපාද්දි වැරදිලා පාරෙ බස් එකක නැගපු කතාව මොකක්ද?

එහෙම වුණේ අපි හොඳ ලනුවක් කෑව නිසා. බස් හෝල්ට් එකේ සීන් එකක් තිබුණා. මමයි ගිහාන් ප්‍රනාන්දු අයියයි නිරෝෂා අක්කයි හිටියේ. ඒක ඉවර වෙද්දිම බස් එකක් ආවා පිළියන්දල කොළඹ. ශාන්ත අයියලා දුර ඉඳලා සංඥාවක් දුන්නා බස් එකට නගින්න කියලා. අපිත් නැග්ගා. එයාලා එහෙම කියලා තියෙන්නේ බොරුවට. අපි ඛෙල් එක ගහලා ගහලා කොන්දොස්තරගෙනුත් බැනුම් අහලා ඊළග හෝල්ට් එකෙන් බැහැලා ෂේප් එකේ හිටපු තැනට ආවා. කට්ටිය බඩ අල්ලගෙන හිනාවෙනවා අපි දිහා බල බලා.

පියුමිගෙ ගම කොහෙද?

රාජගිරියේ.

වර්තමාන පදිංචිය එහෙමද?

ඔව්.

මොනවද ඉදිරි වැඩ කටයුතු?

දැනට රිතු රගපානවා. ඊට අමතරව ඉඩ ඇති පරිදි මියුසික්ස් වැඩසටහන නිවේදනය කරනවා.

පියුමි කියන්නේ මොන වගේ කෙනෙක්ද?

ටිකක් හොඳ ඒ වගේම ටිකක් නපුරු කෙනෙක්.

නපුරුයි කිව්වේ?

අසාධාරණයට එරෙහි වන නපුරියක් මම.

මොනවද අවසන් කොට කියන්න තියෙන්නේ?

ශාන්ත සොයිසා, මහේෂ් රත්සර මද්දුම ආරච්චි, විශ්ව කොඩිකාර ඇතුළු මට උදව් කළ හැමෝටම තුති පුදනවා.

සටහන - ප්‍රසාද් සමරතුංග