රොබෝ රෝවරය රතු ලොවේ කන්දක් ළඟ

අඟහරු මතට ගොඩබැස වසර 2 ක ඇවෑමෙන් තම ගමනාන්තය කරා ළගා වීමට නාසා ආයතනයේ කියුරියෝසිටි රොබෝ රෝවරය පසුගියදා සමත් වූවේය.
කියුරියෝසිටි රොබෝ රෝවරය අඟහරු ග්‍රහයාගේ ‘‘මවුන්ට් ෂාර්ප්‘‘ නම් කඳුගැටයට ළඟා වී එහි සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට සැළැසුම් කර තිබෙන්නකි.
අඟහරු මතට ගොඩබැසි ස්ථානයේ සිට ‘‘මවුන්ට් ෂාර්ප්‘‘ දක්වා වන කිලෝමීටර 9 ක දුර ගෙනීමට රෝවරයට අවුරුදු 2 කට ආසන්න කාලයක් ගතව තිබේ.මෙය පුදුමයට කාරණයක් නොවන්නේ රෝවරයේ උපරිම වේගය තත්පරයට අගල් 1.5 ක් වන නිසාවෙනි.
මවුන්ට් ෂාර්ප් හි පරිසරය අධ්‍යනය කිරීමෙන් අඟහරු මත ජීවයට සුදුසු පරිසරයක් තිබෙන්නට ඇතැයි පළව ඇති මතය කෙතරම් දුරට තහවුරු කර ගත හැකිදැයි සොයාබැලීම කියුරියෝසිටි රෝවරය අඟහරු මතට යැවීමේ අරමුණයි.
රොබෝ රෝවරයේ ‘‘හිමින් ගමන‘‘ සම්බන්ධයෙන් පසුගිය කාලයේ නොයෙකුත් විවේචන එල්ල වුණු අතර පසුගිය සමයේ එළිදැක්වුණු වාර්තාවකට අනුව අඟහරු මතට යැවුණු රොබෝ රෝවරයන්ගේ කාර්යක්ෂමතාව සැළකූ විට ඒවා අතරින් අන්තිම ස්ථානයේ සිටින්නේ කියුරියෝසිටිය.
වැඩ හිමින් වුවද කියුරියෝසිටි අගහරු මත ජලය පවතින්නට ඇතැයි ස්ථීරව සනාථ කෙරෙන දිය සිඳී ගිය පොකුණක සළකුණු සොයාගැනීමටද සමත් වූවෙකි.
නුදුරේදීම කියුරියොසිටිගේ සැබෑ රාජකාරිය ඇරඹෙන බැවින් එම කාලයේදී කියුරියෝසිටි කෙසේ ක්‍රියාකරත් දැයි දැකගැනීමට හැකිවනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති.


Comments