බෞද්ධයින් රවටා මුදල් ගැරූ මිරිජ්ජවිල හොරු...


ඉල් පොහොය දිනයේදී ඍර්ධි බලයෙන් ධාතූන් වහන්සේලා වැඩම වූ බව කියමින් ජනතාව රවටා මුදල් ලබා ගත් බව කියන පිරිසකට හම්බන්තොට - මිරිජ්ඡවිල ප‍්‍රදේශයේදී පහරදීමක් සිදුකර තිබෙනවා. පහරකෑමට ලක්වූ පුද්ගලයන් සඳහන් කර ඇත්තේ තම නිවසේ බුදු පහන දල්වන ස්ථානයට සර්වඥ ධාතූන් වැඩම කර ඇති බවයි. පසුව මෙය දැක බලා ගැනීම සඳහා විශාල වශයෙන් ජනතාව අදාළ නිවසට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ධාතූන් වහන්සේලා වැඩම වූ බව කියන මෙම නිවස පිහිටා ඇත්තේ ද මිරිජ්ඡවිල ප‍්‍රදේශයේයි. 

පසුව ප‍්‍රදේශයේ තරුණයන් පිරිසක් මේ පිලිබඳව සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ තෙතමනය නැති කිරීම සඳහා යොදා ගන්නා සිලිකා නමැති ද්‍රව්‍යයට කහ දියර ඉස ධාතූන් ලෙස පෙන්වා ඇති බවයි. ඒ පිළිබඳව හෙළි වීමෙන් අනතුරුව එම නිවසේ පදිංචිව සිටි පුද්ගලයින් ප‍්‍රදේශය අතහැර පලා යාමට උත්සාහ කිරීමේදී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පහරදීමෙන් අදාළ නිවසේ සිටි එක් අයෙකු මේ වනවිට හම්බන්තොට රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.