ඔබේ ඇපල් දුරකථනය අවදානමක – ඇමරිකානු රජයෙන් පණිවුඩයක්

iOS මෙහෙයුම් පද්ධතිය ක‍්‍රියාත්මක වන ඇපල් අයිෆෝන් සහ අයිපෑඞ් දුරකථන වලට නව බග් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව පරිඝනක ආරක්‍ෂණ විශේෂඥයින් විසින් අනතුරු හගවා ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව ඇමරිකානු රජයේ සයිබර් ආරක්‍ෂණ ඒකකය පවසා ඇත්තේ ජංගම දුරකථන හා ටැබ්ලට් භාවිතා කරන්නන් තමන් ක්ලික් කරන දේ පිළිබඳව අතිශයින් විමසිලිමත් විය යුතු බවයි.
iOS වැඩසටහන් අලෙවිසැලෙන් පරිබාහිරව පැමිණෙන වැඩසටහනක් ඔබේ දුරකථනයට ඇතුළත් කරගන්නා ලෙස පැමිණෙන පණිවුඩයක් ලෙස මෙම බග් ප‍්‍රහාරය පැමිණෙන බව ඇමරිකානු සර්ට් ඒකකය පවසා තිබේ.
ඉන්පසු මෙම ව්‍යාජ වැඩසටහන විසින් ජංගම දුරකථනය සිය අණසකට නතු කරගන්නා අතර දුරකථනයේ සියලූ දත්ත ප‍්‍රහාරකයන් සතු වේ.
මෙම අවදානම පිළිබඳව ෆයර්අයි සමාගමේ පරිඝනක ආරක්‍ෂණ විශේෂඥයන් විසින් ජුලි මස 26දා ඇපල් සමාගම දැනුවත් කර ඇතැයි පැවසේ.
වයර්ලර්කර් ලෙස ඔවුන් විසින් මෙම බග් ප‍්‍රහාරය හඳුන්වා ඇති අතර ව්‍යාජ වැඩසටහන ඒ වන විටත් ජංගම දුරකථනයේ ඇති සැබෑ වැඩසටහනක් ලෙස ක‍්‍රියාත්මක වන බව ෆයර්අයි පවසා ඇත.
මෙය මගින් දුරකථන උපාංගයේ ඇති වැදගත් ඊ මේල් ආදිය බාහිර සර්වරයකට යැවීමට ඉඩකඩ පවතී.  මෙම අවදානමෙන් වැළකීම සඳහා කිසිදු තෙවන පාර්ශ්වයක වැඩසටහනක් දුරකථනයට ඇතුළත් කර නොගත යුතු බව පරිඝනක විශේෂඥයන්ගේ උපදෙස වී තිබේ.