ඩුබායි සිට ගෙන්වූ රුපියල් කෝටියක දුම්වැටි සපත්තු රේගු දැලේ.



ඩුබායි සිට නීති විරෝධීව ගෙන්වනු ලැබූ රුපියල් එක්‌කෝටි දහතුන්ලක්‍ෂ පනස්‌දෙදහසක්‌ වටිනා දුම්වැටි, ළමා හා පිරිමි සපත්තු කුට්‌ටම් තොගයක්‌ ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (05දා) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

 මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා රජය විසින් පිරිනමන තීරු බදු නිදහස්‌ සහනය අයුතු ලෙස යොදා ගනිමින් පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා ලී පෙට්‌ටි 4ක බහා මෙම භාණ්‌ඩ තොගය මෙරටට ගෙන්වා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිŒ මහතා පැවසීය. කින්නියා, අරණායක හා වත්තල ප්‍රදේශයේ ලිපිනයන්වලට මෙම භාණ්‌ඩ මෙරටට එවා තිබූ බවත් ඒ සියල්ල ව්‍යාජ ලිපිනයන් බවත් ලෙස්‌ලි ගාමිŒ මහතා කියා සිටියේය.මෙමගින් රේගුවට රුපියල් දෙකෝටි දාහත්ලක්‍ෂ අසූහයදහසක බදු ආදායමක්‌ අහිමිවී ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ලී පෙට්‌ටි තුළ තිබී රුපියල් එක්‌කෝටි හාරලක්‍ෂ දාසයදහසක්‌ වටිනා විදේශීය දුම්වැටි 347000ක්‌ රුපියල් අටලක්‍ෂ තිස්‌දෙදහසක්‌ වටිනා පිරිමි සපත්තු කුට්‌ටම් 832ක්‌ හා රුපියල් දසලක්‍ෂ හතළිස්‌දහසක්‌ වටිනා ළමා සපත්තු කුට්‌ටම් 2080ක්‌ රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.