හාල් කිලෝ 5කට අහිංසකයකුට ගහලා මරලා

මත්පැන් බීගත් පුද්ගලයන් දෙදෙනකු සහල් කිලෝ පහකට මහ පාරේ සිටින අහිංසකයකුට මියයන තෙක්ම පහරදී ඇතැයි ගොඩකවෙල පොලිසිය හෙළි කර ගෙන තිබේ.

සෙවණගල මල්වත්තේදී ඉකුත් 28 රාත්‍රි මේ පුද්ගලයා මරා දමා තිබූ අතර 29 අලුයම ප්‍රදේශවාසීන් ඒ බව දැක පොලිසියට දැනුම් දී තිබිණි.

රත්නපුර නිල පොලිස් සුනඛ සනා සහල් කවරයට ඉවකර සැකකරුවකුගේ නිවෙසටම ගොස් පොලිස් පරීක්ෂණවලට සහාය විය. ඉන්පසු එක් අයකු අත්අඩංගුවට ගත්


 අතර ඝාතනයට හේතුව සහල් කිලෝ පහක් බව හෙළි වී තිබේ.

ගොඩකවෙල මල්වත්තේ වෙළෙඳසලක් ඉදිරිපිට වසර ගණනාවක සිට නිදා ගන්නා ඒ. පියසේන නම් 60 හැවිරිදි පුද්ගලයා 28දා රාත්‍රි මරා දමා තිබුණේ පහරදීමකින් බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඔහු මරණයට පත්ව සිටි වෙළෙඳසල ඉදිරිපිට කෙළවරක සහල් දැමූ කවරයක් තිබූ අතර එය රත්නපුර නිල පොලිස් සුනඛ සනාට ඉව කිරීමට සැලැස්වීමෙන් පසු සනා සැකකරුවකුගේ නිවෙසකට ගොස් නතර විය. සහල් කවරය හා සහල් මිලදී ගත් දෙදෙනකු ගැන ඉන්පසු පොලිසිය කරුණු සොයා ගත්තේය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ දැනට ප්‍රදේශයෙන් පලාගොස් සිටින සැකකරු මෙදින රාත්‍රි මේ

වෙළෙඳසල ඉදිරිපිටට පැමිණ මත්වතුර බී ඇතැයි පරීක්ෂණවලදී හෙළි විය. එහිදී සහල් මල්ල තිබූ ස්ථානය සැකකරුවන්ට අමතක වී ඇති අතර වෙළෙඳසල ඉදිරිපිට නිදා ගෙන සිටි පුද්ගලයාගෙන් සහල් මල්ල ගැන සැකකරුවන් විමසා තිබේ.

ඒ ගැන කිසිවක් නොදත් ඝාතනයට ලක්වූ පුද්ගලයා සහල් මල්ලක් ගැන නොදන්නා බව කීමෙන් පසුව ඔහු මියයන තෙක්ම සැකකරුවන් පහරදී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මත්පැන් පානය කිරීමෙන් පසු තමන්ට සහල් කවරය තැබූ ස්ථානය අමතක වී ගිය බව අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.

මියගිය පුද්ගලයාට ඥාතීන් සිටියත් ඔහු මහ මග වෙළෙඳසලක් ඉදිරිපිට නිදා ගැනීමට පුරුදුව සිටි අයකු බවත් ඔහු අහිංසකයකු බවත් පොලිසිය කියයි.

මේ ඝාතනය ගැන තවත් එක් සැකකරුවකු සොයා පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සෙවණගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එල්.එම්. හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ මෙහෙයවයි.

Comments