කොස්තාපල් පුඤ්ඤසෝමලා පොලිසියේ නෑ 

හංගපු ආයුධ පෙන්වන්න යන අපරාධකරුවන් වෙඩි කන්නෙ ඇයි ජ් අජිත් රෝහණ කියයි



01. අජිත් රෝහණ කියන්නේ කවුද?
අජිත් රෝහණ කියන්නේ මේ රටට ආදරය කරන පොලිස්කාරයෙක්.



02. පොලිස්කාරයා කියන භූමිකාව පැත්තකට දැම්මොත්?
සංවේදී මිනිසෙක්.



03. රැකියාව ගැන තෘප්තිමත්ද?
ඔව්. ගොඩාක් තෘප්තිමත්.



04. රටේ ප්‍රසිද්ධ චරිතයක්වීම ගැන මොකද හිතෙන්නේ?
මම ප්‍රසිද්ධ වෙන්න බලාගෙන නෙවෙයි මේ කටයුතු කරන්නේ. මම හිතුවෙත් නෑ මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. එක පැත්තකින් මම කියන හැමදේම හොඳයි කියලා කියන නිකන් රසික රසිකාවියෝ වගේ පිරිසක් ඉන්නවා. ඒ අයට මම කැමැතියි. ඒ වගේම මම කියන දේවල් විවේචනාත්මකව කතා කරන පිරිසකුත් ඉන්නවා. ඒ අයටත් මම කැමැතියි.



05. මේ පාර උෟවේ මහ ඇමැති කවුරු වෙයිද?
ඒ ගැන මට අදහසක් කියන්න බැහැ.



06. ඔබ ජාතික පත්තරවල කාටූන්වල චරිතයක් වුණා. බොහෝ විට ඔබව ආණ්ඩුවේ අදහස කියන ගිරාපෝතකයෙක් එහෙම නැත්නම් විකටයෙක්, රෙදි අපුල්ලන්නෙක් විදිහට තමා දැක්වුණේ, මේ ගැන මොකද හිතෙන්නේ?
ඒ කාටූන් ඇඳපු ශිල්පීන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒවා හොඳ විවේචන සහ විචාර. මොනදේ කරලා හරි මට පුළුවන් නම් පොලිසිය කරන හරි දේ ජනතාව අතරට ගෙනියන්නට මාව රෙදි හෝදන කෙනෙක් විදිහට දැක්වූවත් මම අකමැති වෙන්නෙ නෑ. පොලිසිය කරන නිවැරැදි දේ ජනතාව අතරට ගෙන ඒම සඳහා පොලිසිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඕනම දෙයක් මම කැප කරනවා.



07. මේ එක කාටූනයක් නිසාවත් හිත රිදිලා නැද්ද?
මට සමහර වෙලාවට සංවේදී තත්ත්වයන් ඇති වුණත් කනගාටුවට පත්වෙලා නැහැ. ඒක උපහාසයක් විදිහටයි මම සලකන්නේ.?



08. සමහර මැති ඇමැතිවරු, ජනාධිපතිවරු මේ කාටූන් එකතු කළා, ඔබත් එහෙම කරනවාද?
ගිය අවුරුද්දෙ ටික නම් නෑ. මේ අවුරුද්දේ කාටූන් සේරම මම එකු කරනවා. හැම එකම එකතු කළා කාටූන් 170ක් පමණ තියෙනවා.



09. රැකියාව එපා වෙලාත් සිටියා නේද?
පොලිස් නිලධාරියෙක් විදිහට එක දිගට දුරකතන ඇමැතුම්වලට අමතනකොට, ප්‍රශ්නවලට උත්තර දෙනකොට ඒ වගේ කලකිරීම් ආවා. නමුත් මම ආයෙත් හිතුවා කවදාහරි මේ එන මඩ ප්‍රචාරත් එක්ක පොලිසියේ නිවැරැදි දේ ජනතාවට පෙන්වලා එය ආරක්ෂා කරන්න පුළුවන් නම් කැපවෙලා වැඩ කළ යුතුයි කියලා. පොලිස්පතිතුමා කියනතාක් කල් මම ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා.



10. ඔබ කියන්නෙ අසත්‍ය. ඔබ කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේ පමණක් මාධ්‍ය හරහා කියන එක කියලා චෝදනාවක් තියෙනවා නේද?
කවුරුහරි කෙනෙක් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරනවා නම් ඒ වරප්‍රසාද, දීමනා ලැබෙන්න ඕනෑනේ. මට කවුරු හෝ එවැනි චෝදනාවක් කරනවා නම් ඒ අයට පුළුවන් වෙන්න ඕනෑ මට එවැනි වරප්‍රසාද, දීමනා ලැබෙනවා කියලා ඔප්පු කරන්න. ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරු ලංකාවේ

 60ක් විතර ඉන්නවා. ඒ අයට නොලැබෙන මට විශේෂයෙන් ලැබෙන දෙයක් තියෙනවා නම් එහෙම කිසිම දෙයක් මට ලැබිලා නැහැ.



11. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් නැතිව පොලිසිය ආරක්ෂා කරන්න බැරිද?

මේ තනතුර නැතිව පොලිසියේ හරි පැත්ත පෙන්වලා දෙන්න අමාරුයි. කොයි තරම් මහන්සිවෙලා පොලිසියෙ රාජකාරි කළත් මාධ්‍ය ප්‍රකාශක නැත්නම් මාධ්‍ය හරහා එය පෙන්වීම අමාරුයි. එහෙම නැති වුණොත් ජනතාව පොලිසිය ප්‍රතික්‍ෂේප කරනවා.
12. ලංකාවේ මාධ්‍ය මඟින් ඇයි ඔබට මේ තරම් චෝදනා කරන්නේ?

පොලිසිය කියන ආයතනය මිනිසුන්ට ටිකක් අප්‍රසන්න ආයතනයක්. ලෝකයේ සෙසු රටවලත් එහෙමයි. මිනිසුන්ගෙ එදිනෙදා කටයුතුවලට බාධා වෙනවා පොලිසිය කරන රාජකාරිවලින්. මිනිස්සු වැරැදි කරන්න කැමැතියි. නිවැරැදිව ඉන්න මිනිස්සු හරි අඩුයි. එතකොට මිනිස්සු පොලිසියට කැමැති වෙන්නේ නැහැ. ඉතින් පොලිසිය ආරක්ෂා කරන්න යනකොට ඒ යන

ආරක්ෂකයාට ප්‍රශ්න වැඩියි.

13. ඔබ ගැන හොඳ කියන වැඩිපුරම ඔබ කැමැති රූපවාහිනි නාළිකාව මොකක්ද?
මම වැඩිපුරම කැමැති විවාදාත්මක වැඩි වැඩසටහන් තියෙන රූපවාහිනි නාළිකාවලට. එක පැත්තකට නැතිව හැම පැත්තකටම සාධාරණව කතා කරන

නාළිකාවන්ට මම කැමැතියි.

14. ඔබ කරන හැම ප්‍රකාශයක් ගැනම 100% වගකියන්න පුළුවන්ද?

ඔව්. 100% ම.

15. එහෙනම් ඇයි සමහර සිදුවීම ගැන චෝදනා ආවේ?

සමහර අවස්ථාවලදී එවැනි චෝදනා ආවා අවස්ථා දෙක තුනකදී. මම කරපු ප්‍රකාශවල වැරැදි තිබිලා නැහැ කවදාවත්. නමුත් මට ලබා දීපු තොරතුරුවල ප්‍රතිඵලයක් හැටියට සමහර අවස්ථා වැරැදි වුණා. ඒවා මම පසුවදාම නිවැරැදි කරලත් තියෙනවා.

16. හෘද සාක්ෂියට එකඟවමද මේ ප්‍රකාශ කරන්නේ?

ඔව්. කවදාවත් හෘද සාක්ෂියට විරුද්ධව ප්‍රකාශ කරලාම නැහැ.

17. ඒත් ඔබේ තනතුර සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි නේද?

නැහැ. සම්පූර්ණයෙන් නිර්දේශපාලනිකයි.

18. ඔබ මේ සියලු ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව රැකගන්න නේද?

කවුරුහරි කියනවානම් මම කවුරු හෝ පුද්ගලයෙක් හෝ කුමන හෝ පක්ෂයක් රැක ගන්න ප්‍රකාශ කරනවා කියලා මම එහෙම කරලා නැහැ. හැබැයි සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව රැක ගන්න මම සත්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. ඒ වගේම පොලිසියේ අය වැරැදි කරපු වෙලාවටත් ඒවත් මම හරියටම කියලා පොලිසිය රැකගෙන තියෙනවා. පොලිසියේ කුණු, මඩ, චෝදනා ඒවා හන්ගන්නේ නැතිව හෙළි කරලත් තියෙනවා.

19. පොලිසියයි, ආණ්ඩුවයි දෙකම නැති වුණොත් රටට කොහොම වෙයිද?

යම් කිසි රටක රජයක් හා පොලිසිය නැති වුණොත් ඒ රට අරාජික වෙනවා. හොඳම උදාහරණ තමයි සෝමාලියාව සහ හයිටි රාජ්‍යය. ඒ රටේ නීති ආධිපත්‍යය බිඳ වැටෙනවා. එතකොට අපරාධකාරයෝ, හොරු, මංකොල්ලකාරයෝ කල්ලි ගැහිලා රට පාලනය කරනවා.

20. ඔබ ප්‍රකාශ නොකරපු ඒවා මාධ්‍යවලින් පළවෙලා තියෙනවාද?

ම්ම්ම්…. හැම මාධ්‍ය ආයතනයක්ම නෙවෙයි. සමහර මාධ්‍ය ආයතන එහෙම කරලා තියෙනවා?

21. ඇයි එහෙනම් නීතිමය පියවරක් නොගන්නේ?

ඒවට එරෙහිව නිවැරැදි කිරීම් යවලා තියෙනවා. ඒ හැම නිවැරැදි කිරීමක්ම පළවුණා. එක අවස්ථාවකදී එහෙම එකක් නිවැරැදි වුණේ නෑ. ඒකට පුවත්පත් මණ්ඩලය තුළ පැමිණිල්ලක් විභාග වෙනවා.

22. පසුගිය කාලයේ අත්අඩංගුවට පත් අපරාධකරුවෝ පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියගියේ ඇයි? (ගොඩාක් වෙලාවට හංගපු ආයුධ හොයන්න යද්දී)

පොලිසිය අත්අඩංගුවට අරන් මියගිය හැමකෙනාම නමගිය අපරාධකාරයෝ. එවැනි අපරාධකරුවන්ට ජීවත්වෙලා හිටියත් නැතත් එකයි. ඒක නිසා එයාලා අරගෙන යද්දී යම් යම් සිද්ධි ඇතිවෙනවා. සඟවාපු ආයුධ හොයාගන්න යද්දී සිද්ධි ඇතිවෙනවා. ඉතින් ඒ අපරාධකාරයෝ සමහර වෙලාවට විශ්වාස කරනවා ඇති අපිට පොලිසියේ හිටියත් එකයි, නැත්තං පොලිසියේ එක්කෙනකුට වෙඩි තියලා අපිත් මැරෙන එක හොඳයි කියලා. ඒ අවස්ථාවලදී තමයි එහෙම වුණේ.

23. අපරාධකරුවෝ රැගෙන යද්දි ඔවුන්ගේ අත්වලට මාංචු දානවා නේද? මාංචු තියෙද්දි කොහොමද ඔවුන් ආයුධ හසුරුවන්නේ?

ඒක තීරණය කරන්නේ අධිකරණය. පසුගිය කාලේ සිදුවුණු සිද්ධි දෙකකදී ඇරෙන්න අනිත් හැම සිදුවීමකදීම අධිකරණය කිව්වා එහෙම වෙන්න පුළුවන් කියලා. ඒක තීරණය කරන්නේ සියලු සාක්‍ෂි අනුවයි.

24. දැන් ඔබේ වයස කීයද?

මට දැන් 48ක් වෙනවා.

25. බාහිර පෙනුම රැකගන්න කාලය, මුදල් වැය කරනවාද?

ඇත්තටම මම දවසට පැය 2ක් ව්‍යායාම කරනවා. ඒ වගේම අපේ පොලිස් කායවර්ධනාගාරයේ විවිධ කායවර්ධන ව්‍යායාම කරනවා.

26. රූපලාවණ්‍යාගාරවලට යනවාද?

නැහැ.

27. වැඩිපුර වියදම් කරන්නේ මොනවටද?

ඇඳුම් පැලඳුම්වලට.

28. කීයක් විතර මාසෙට යනවාද?

මාසෙකට 8,000-10,000ක් විතර.

29. ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හෝ නීතිඥවරයෙක් නොවුණා නම්?

අනිවාර්යයෙන්ම මම වෛද්‍යවරයෙක් වෙයි. මට බැරි වුණා ජීව විද්‍යා විෂයන් කළාට වෛද්‍ය විද්‍යාලයට යන්න. ලකුණු කීපයක් මදිවුණ නිසා.

30. ආණ්ඩුවේ, විපක්‍ෂයේ, ජ.වි.පෙ. කැමැති, අකැමැති දේශපාලනඥයෝ ඉන්නවාද?

රජයේ නිලධාරියෙක් විදියට ඒකට නම් ඍජු පිළිතුරක් දෙන්න අමාරුයි.

31. “කොස්තාපල් පුඤ්ඤසෝම” චිත්‍රපටය බැලුවද?

ඔව් බැලුවා. ප්‍රහසන චිත්‍රපටයක්. ඒ වගේ චරිත පොලිසිය තුළ නෑ කියලා මම කියන්නේ නැහැ. නමුත් මුළු පොලිසියටම එය ආදේශ කරන්න බැහැ.

32. එහි අධ්‍යක්‍ෂවරයා ඔබ වුණා නම් මොන වගේ දේවල්ද වෙනස් කරන්නේ?

එහි පිටපත උදයකාන්ත මම ගාවට ගෙනාවා කතා කරන්න. කතා පිටපතේ ඔය දේවල් තිබුණෙ නැහැ. ඒකේ තිබුණේ කොස්තාපල් පුඤ්ඤසෝම වීර්ය සම්පන්න, අවංක නිලධාරියෙක්. ඔහු තමන්ගේ අවංක කැපවීම නිසා රැකියාවෙන් උසස්වීමක් ලබාගන්නවා කියන සාරාංශය විතරයි. ඒක ගෙනාවේ රූපගත කරන්න පෙරයි. නමුත් රූගත කරද්දි එයාලා විවිධ දේවල් විශේෂයෙන් කතා පිටපතේ නැති දේවල් එකතු කරලා තිබුණා. ඒවා මඟින් පොලිසිය උපහාසයට ලක්වුණා. පොලිසිය මිනිස්සු අතර උපහාසයට ලක්වුණොත් ඉන් උපහාසයට ලක්වෙන්නේ පොලිසියවත්, නිලධාරියාවත් නොවෙයි මේ රටේ නීතිය. නීතිය එහෙම උපහාසයට ලක්කරන්න හොඳ නැහැ. මම උදයකාන්තට පසුව එය කිව්වා.

33. මොනවද පිටපතේ නොතිබුණු චිත්‍රපටය තුළ තිබුණු දේවල්?

පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඉතාමත් බීමතින් ඇවිත් බීමත්කම පරීක්‍ෂා කරන නිලධාරීන්ව පරීක්‍ෂා කරනවා. සාමාන්‍යයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් ඔය කියන විදියට පොලිස් නිලධාරීන් පරීක්‍ෂාවට යන්නේ නැහැ. ඒක අතාත්වික දර්ශනයක්. එහෙනම් ඔහු යන්න ඕන පොලිස් ජීප් රියෙන්. ලංකාවේ පොලිස් ස්ථානාධිපතිවරු තනියෙන් ඔය වගේ කාර් එකක නිලධාරින් පරීක්‍ෂාවේ යන්නේ නෑ. මම අධක්‍ෂ නම් එවැනි දර්ශනත් ඉවත් කරනවා.

34. බිරියගෙන් චෝදනා නැද්ද මේ තරම් රාජකාරියට කැපවීම නිසා?

මුල් මුල් කාලේ බිරිය චෝදනා කළා. දැන් බිරිය, දරුවෝ තේරුම් අරන් ඉන්නවා. ලොකු ප්‍රශ්න නැහැ යම් අපහසුතා එනවා ඉතින්.

35. සැමියෙක් විදියට 100% සාර්ථකද?

90% විතර.

36. පෙම්වතෙක් විදියට විඳපු ආදරෙයි සැමියෙක් විදියට විඳින ආදරෙයි වෙනසක් තියෙනවද?

ඔව්. විවාහය සමඟ බැඳීම් සහ වගකීම් ගොඩක් ඇතිවෙනවා. පෙම්වතාව සිටිද්දි එය ආදරයම විතරක් වෙන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය.

37. විරුද්ධ ලිංගික ආකර්ෂණය තවමත් ඒ කාලේ වගේම ලැබෙනවද?

ඒ විදියටම ලැබෙනවා.

38. බිරිය ඉද්දි වෙනත් කාන්තා ආකර්ෂණයට නතුවෙලාම නැද්ද?

එහෙම හිත වෙනස් වුණු තැන් නැහැ. ඒත් ඉතින් සමහර අවස්ථාවල දැන් විශේෂයෙන් සමාජ වෙබ් අඩවි හරහා එස්.එම්.එස්. හරහා විවිධ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. නැත්තේ නැහැ. නමුත් මගේ බිරිය
ඒවා තේරුම් අරන් කටයුතු කරනවා. දැන් වුණත් රූපවාහිනිය, පත්තරයක් දකින කෙනෙක් එස්.එම්.එස්. එවන්න, මේල් එකක් එවන්න, ඡායාරූප එවන්න සහ එවපු අවස්ථා තියෙනවා.

39. මේ හැමදේම බිරිය දන්නවාද?

නැහැ ම්… හැම දෙයක්ම දන්නේ නැහැ. එයා හැමදේම හොයන්නෙත් නැහැ. ඉතින් දවසකට මට එස්.එම්.එස්. 50-60 එනවා. ඒ අතරින් එකක් දෙකක් අර වගේ එස්.එම්.එස්. තියෙන්න පුළුවන්.

40. එක බිරියයි පෙම්වතියෝ ගොඩයි. ගොඩක් පිරිමින්ට එය පොදුයි. නිල ඇඳුම ඇන්දත් ඔබත් පිරිමියෙක්. ඔබට මෙය අදාළද?

එහෙම ප්‍රවණතාවක් අපේ රටේ සහ ලෝකයේ දකින්න තියෙනවා. ඒක ඉතින් මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ හැටියක් වෙන්න ඇති. මෙහෙමයි, මනුෂ්‍යයෙක් හැටියට බැලුවොත් ඒ තියෙන මතවාදයෙන් බැහැර වෙන්න නැහැ. ඒත් මම වගකිවයුතු රජයේ නිලධාරියෙක් හැටියට එවැනි තත්ත්වයකට පත්වෙන්න කැමැති නැහැ.

Comments