ගීතා කුමාරසිංහ සංවිධායකතුමිය සමඟ සරම් අඳින නියම පිරිමින්ට දේශපාලනය කරන්න බැහැ - ඇල්පිටියේ උප සභාපති

මේ අයත් එක්ක මේ රට හදන්න බැහැ - ගීතා
ඛෙන්තර - ඇල්පිටිය ආසනයේ ශ්‍රී ල.නි. පක්ෂ සංවිධායිකා හා දකුණු පළාත් සභා මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මියගේ අදූරදර්ශි, අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා පසුගිය වසර කිහිපය තුළ තමන් දැඩි මානසික පීඩාවට ලක්වූ බවත්, ඒ නිසා තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා බැව් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති කාලිංග ශාන්තතිලක මහතා පැවැසීය. ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳ විමසුමකදී හෙතෙම මෙසේද කීවේය.

ආසනයේ සංවිධායකතුමිය දිගින් දිගටම මා ඇතුළු මන්ත්‍රිවරු කිහිප දෙනකුගෙන් එළවා එළවා පළිගන්නවා. මේ පිළිබඳ සියලූ‍ දුක් අ‍දා්නා අපට වී ඇති අසාධාරණකම් ගැන පක්ෂයට ලිඛිතව දැනුම් දුන්නා. මේ ගැන ආසන සංවිධායකතුමියට විනය පරීක්ෂණයක් පවත්වන්න කියලා මා ඉල්ලා සිටියා. නමුත් පක්ෂයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ.

පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු අපෙන් සංවිධායකතුමිය එළව එළවා පළිගන්නවා. ආසනයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලදි මා එහි අධීක්ෂණ කටයුතුවලින් ඉවත් කරලා ඇයට හිතවත් මන්ත්‍රිවරුන් නොවන අයටත් සංවර්ධන ව්‍යාපෘතිවල අධික්ෂණ කටයුතුවලට පත්කරලා තියෙනවා. ඇතැම් ව්‍යාපෘතිවල වටිනාකම ලක්ෂ 30කටත් වැඩියි. කිසිදු වගකීමකින් තොරව තමයි සංවිධායකතුමිය කටයුතු කරන්නේ.
ඇය මගෙන් දිගින් දිගටම පළිගන්නවා. බොරු නඩුවලට පටලනවා.

ශ්‍රී ල.නි. පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු අපට මේ විදියට සැලකීම ගැන ඇත්තේ කනගාටුවක්. මේ ගැන ජනාධිපතිතුමාට, පක්ෂයේ මහලේකම්තුමාට, බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාට, සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාට හා දකුණු පළාත් ප්‍රධාන ඇමැතිතුමාට ලිඛිතව දැනුම් දුන්නා. ඒත් කිසිදු උත්තරයක් නැහැ.

මේ නිසා විශාල කැලඹීමක් මා තුළ ඇතිවෙලා තියෙනවා. මෙනිසා මා ශ්‍රී ල.නි. පක්ෂයේ කිසිදු ක්‍රියාකාරී දේශපාලන කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැහැ. ගීතා කුමාරසිංහ සංවිධායකතුමිය සමඟ සරම් අඳින නියම පිරිමින්ට දේශපාලනය කරන්න බැහැ. එතුමියත් සමඟ මට රණ්ඩු වෙන්න බැහැ. මා කරන්නේ ගෞරවනීය දේශපාලනයක්. මට විරුද්ධව කිසිදු දූෂණ චෝදනා නැහැ. මට විරුද්ධව කිසිදු ෆයිල් එකක් නැහැ. ඒ නිසා ෆයිල් පෙන්වලා මාව බයකරන්න බැහැ.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී ඛෙන්තර ඇල්පිටිය ආසනයෙන් පක්ෂයට ලැබුණු ඡන්දවලින් ඇය මනාප ගන්නේ 48%යි. ඒ මනාපත් ගත්තේ පක්ෂයේ ඇමැතිවරු ඇයට උදවු කරපු නිසා. නමුත් අපි උදවු කරපු දුල්ෂාන් කාරියවසම් මහත්තයා කිසිදු ආසන සංවිධායක ධුරයක් නැතිව පක්ෂයට ලැබුණු ඡන්දවලින් 42%ක් මනාප ගත්තා. ගීතා කුමාරසිංහ මහත්මිය ඛෙන්තර ඇල්පිටිය ආසනයෙන් ඉවත් වූ දිනක තමන් යළිත් ක්‍රියාකාරී දේශපාලනය කරනවා. ශ්‍රී ල.නි. පක්ෂය හැරදමා යන්නේ නැති බවද කාලිංග ශාන්ත තිලක මහතා සඳහන් කෙළේය.

මේ පිළිබඳව ඛෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ල.නි. පක්ෂ සංවිධායිකා හා දකුණු පළාත් සභා මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මියගෙන් විමසුමකදී ඇය මෙසේ කීවාය.

ඔය උප සභාපතිවරයා කියන්නේ පට්ටපල් අමූලික බොරු. මා කිසිදු අයකුගෙන් පළිගත්තේ නැහැ. සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ වගකීම තමන්ට අයත් කලාපයේ මන්ත්‍රිවරුන්ට පවරලා තියෙනවා. මොහු සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ වගකීම්වලින් ඉවත් කරලා නැහැ. ඔය කියන්නේ පට්ටපල් බොරු.

නමුත් මා කිසිවකුටත් සංවර්ධන ව්‍යාපෘතිවලින් ගසාකන්න, හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේවා ජනතාවගේ මුදල්. හැම සංවර්ධන ව්‍යාපෘතියක් ගැනම මා පෞද්ගලිකව සොයා බලනවා.

මොහු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වෙනවා නම් ඒක ලොකු උදව්වක්. මේ අයත් එක්ක මේ රට හදන්න බැහැ. ගියවර පළාත් සභා මැතිවරණයේදි ඛෙන්තර ඇල්පිටියෙන් අපේක්ෂකයන් සිවුදෙනකු දැම්මා. ජයග්‍රහණය කළේ මා විතරයි. ඛෙන්තර ඇල්පිටිය ආසනයේ ජනතාව මට තමයි වැඩිය මනාප ලබා දුන්නේ.

ඇතැමුන් උපවාස කරලා මාව ගෙදර යවන්න හැදුවා. අන්තිමට වුණේ ඒ අයට ගෙදර යන්න. මාධ්‍ය මඟින් ප්‍රචාරය ගන්න තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

Comments