ගල්ගමුව, මීගලෑවේ නිවසකින් පසුගිය සඳුදා පැහැරගෙන ගිය සිව් හැවිරිදි දමිඳු යශේන් ඒකනායක දරුවා රහස් පොලිසිය විසින් කල විශේෂ මෙහෙයුමකින් සොයාගෙන තිබේ.
ගල්ගමුව ඇඹෝගම ප‍්‍රදේශයේදී මෙම දරුවා සොයාගෙන ඇති අතර දරුවාට කිසිදු හිරිහැරයක් සිදුව නැති බවත් සිද්ධියේ සැකකරුවන් හඳුනා ගත් බවත් පොලීසිය සඳහන් කරයි.
දරුවා පැහැරගෙන ගිය අය අතර දරුවාගේ පියාගේ ඥාතියෙකුද සිටින අතර සිද්ධියට සම්බන්ධ සියල්ලන් පොලිස් අත්අඩංගුවට පත්ව සිටී.
දරුවා පැහැරගෙන ගොස් ගල්ගුහාවක රඳවා තුන් වේලටම කෑම සඳහා ලබාදී ඇත්තේ නූඞ්ල්ස් බවද හෙළි වී ඇත.
සැකකරුවන් විසින් දරුවගේ පියාගෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ඇතත් කප්පම් නොදී දරුවා බේරා ගැනිමට පොලිසිය සමත් විය.
සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩාමක් දරුවා බළලුවැව කැළැවේ සිටිතියි ලැබුණු ඔත්තුවක් මත කැලය බලා යන්නට සූදානමින් සිටියදි දරුවා ඇඹෝගම ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය පවසයි.
අපරාධ කරුවන්ට පැන යන්නට අවස්ථාව ලැබී නැත්තේ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්, බුද්ධි අංශ සහ රහස් පොලිසිය වළල්ලක් සේ ප්‍රදේශයම වටකරගෙන සිටි නිසාය.

Comments