ඉබ්බාගමුව දරුවා හමුවේ. අක්මීමන දැරිය අතවරයට ලක්ව ඇති බවට සැක.

ගාල්ල - අක්මීමන - කුරුඳුවත්ත ප‍්‍රදේශයේදී ඝාතනය කළ දැරිය ඝාතනයට පෙර  අතවරයට ලක්කර ඇති බවට සැකයක් පවතින බව පොලීසිය පවසනවා. මේ අතර කුරුණෑගල - ඉබ්බාගමුව ප‍්‍රදේශයේදී පෙරේදා රාත‍්‍රියේ අතුරුදන්වූ වයස අවුරුදු 12 ක් වූ පිරිමි දරුවා ඊයේ (17) රාත‍්‍රියේ සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා. 

ඝාතනයට ලක්ව සිටි දැරියගේ සිරුර ඊයේ රාත‍්‍රියේ සොයා ගැනුනේ ඇය පදිංචිව සිටි ගාල්ල - අක්මීමන නිවස ආසන්නයේ තේ වත්තක තිබියදියි. ඇයගේ  සිරුර සොයාගන්නා විට අත් පා තේ ගස් කිහිපයක බැඳ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැරිය ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක බවයි පොලීසිය කියා සිටියේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අක්මීමන - කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පදිංචි 8 හැවිරිදි දේමුනි සුජානි අසන්ති ලංකාතිලක නැමති දැරියක්. ඇය ඊයේ පාසල නිමවී සිය වැඩිමහල් සොයුරිය සමග නිවසට පැමිණ ඇති අතර පසුව 13 හැවිරිදි වැඩිමහල් සොයුරිය උපකාරක පන්තියකට සහභාගිවීමට නිවසින් පිටව ගොස් තිබෙනවා. මව සහ පියා නිවසින් බැහැරව රැකියා සඳහා පිටව ගොස් සිටි නිසා දැරිය නිවසේ රැඳී සිට ඇත්තේ තනිවමයි.  උපකාරක පන්තිය නිමවී වැඩිමහල් සොයුරිය නිවසට පැමිණියද තාම බාල සොයුරිය නොසිටීම හේතුවෙන් අසල්වාසීන් සමග ඇයව සොයා ඇති බවයි ප‍්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අතරතුර අසල වතුයායක තේ දළු නෙලීමට ගිය ඇගේ මවද නිවසට පැමිණ තිබෙනවා. එහෙත් දැරිය පිළිබඳව තොරතුරක් නොලැබීම හේතුවෙන් අක්මීමන පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර පසුව පොලිස් නිලධාරින්ද පැමිණ අතුරුදන් වූ දැරිය සොයා බැලීමේදී නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි තේ වත්තක තිබී ඇයගේ සිරුර හමුවී තිබෙනවා.  

මේ අතර කුරුණෑගල - පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචි  රමේෂ් මධුරංග නැමති මෙම දරුවා පෙරේදා රාත‍්‍රියේ අතුරුදන්වූයේ පැවිදිවීම සඳහා ඔහු නැවතී සිටි ඉබ්බාගමුව මේඝගිරි විහාරස්ථානයේ රැඳී සිටියදියි. විහාරස්ථානයේ වැඩවිසූ සාමණේර භික්ෂූන් වහන්සේ නමක සමග ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් මෙම දරුවා එදින විහාරස්ථානයෙන් පිටවී ඇති බවයි දරුවාගේ පියා වන පාලිත රූපසිංහ හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. පසුව ඊයේ දිනයේදී මෙම දරුවා රිදීගම නගරයේ රැඳී සිටියදී කරණවෑමියෙකු විසින් ඔහු හඳුනාගෙන තම භාරයට ගෙන තිබෙනවා. ඉන් පසුව දරුවා ගොකරැල්ල පොලීසියට භාරදෙනු ලැබුවා.

Comments