හෙරොයින් වෙනුවට පාන් පිටි දීලා එකකු මරු දකී
පානය කිරීම සදහා හෙරෝයින් මත් කුඩු ලබා දීම සම්බන්දයෙන් ඇතිවී තිබූ බව කියන අමනාපයක් මත සිදු කර ඇති පහර දීමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව - කිරිමැටියාන වත්ත පදිංචිව සිටි මුතුනම ගොන්නගේ අනුරුද්ධ ලක්මාල් ප්‍රනාන්දු (අවු:24) නම්වූ තරුණයෙකි.තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ වෙන්නප්පුව - එකමුතු මාවත පදිංචිකරුවෙකු වන උඩුගම්පලගේ නිමේෂ් ප්‍රනාන්දු (අවු:24) නම් අයෙකි.ඔහු මේ වන විට මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මිය ගොස් ඇති තරුණයා විසින්ද මිනිස් ඝාතනයක් සිදු කර ඇති බවත්,ඔහු කළක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇති බවත් පොලීසිය පවසයි.ඔහුගේ එක් පාදයක් අහිමිව වී ඇත.තුවාල ලබා ඇති තරුණයාද විවිධ හේතුමත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අවස්ථා කීපයකදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පැමිණ සිටි අයෙකු බවට පොලීසිය විසින් හදුනා ගෙන ඇත.
මිය ගොස් ඇති අය සහ තුවාල ලබා සිටින අය සිරිගම්පල ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසකට පානය කිරීම සදහා හෙරෝයින් ලබා දී ඇත.නමුත් ඔවුන් ලබා දී ඇත්තේ පාන් පිටි බව ඒවා රැගෙන ගෙන ගිය පිරිස විසින් පසුව අනාවරණය කර ගෙන ඇත.මෙම සිද්ධියෙන් පසුව දෙපිරිස අතර අමනාපයක් තිබී ඇති බව පොලීසිය පවසයි.
පසුගිය 13 වැනිදා සවස 5.30 ට පමණ මිය ගොස් සහ තුවාල ලබා ඇති දෙදෙනා සිරිගම්පල කොළණියේ අතුරු මාර්ගයක කථා කරමින් සිටින විට එම ස්ථානයට තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කඩා වැදී ඇත.ඔවුන් අත තිබූ තියුණු ආයුධ වලින් දෙදෙනාට ප්‍රහාරය එල්ල කර ඇත.එම ප්‍රහාරයෙන් බේරීම සදහා දෙදෙනාම අසල වූ නිවසක් තුළට දිව ගොස් ඇත.නමුත් ප්‍රහාරය අවසන් වී නැති බව පොලීසිය කියයි.සිද්ධියෙන් පසුව ප්‍රහාරය එල්ල කළ තිදෙනා පලා ගොස් ඇත.
තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනාව එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහල වෙත ගෙන යාමට සිරිගම්පල පදිංචිකරුවන් කටයුතු කර ඇත.නමුත් එක් තරුණයෙකු ඒ වන විටත් මිය ගොස් සිට ඇත.බරපතල කැපුම් තුවාල සහිතව සිටි අනෙක් තරුණයාව වහාම කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.නමුත් ඔහුගේ අධික රුධිර වහනය හේතුවෙන් ඔහුව මීගමුව මහා රෝහලට ඇතුළත් කිරීමට ගිලන් රථය බාරව සිටි වෛද්‍යවරයා කටයුතු කර ඇත.මීගමුව මහා රෝහලේදී එම තරුණයාට ශල්‍යකර්මයක්ද සිදු කර ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
Comments