ශාන්තිකර්ම කරන මුවාවෙන් කාන්තාවන් රැසකට අතවර කළ කපුවා රිමාන්ඩ්

ශාන්තිකර්ම කරන මුවාවෙන් කාන්තාවන් රැසකට ලිංගික අතවර කළ බව කියන කපුවකු මෙම මස 15 වනදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ මහෙස්‌ත්‍රාත් ජගත් ඒ. කහඳගමගේ මහතා නියෝග කළේය.


මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ නෝටන්බී්‍රඡ් කිරිබත්එළිය පදිංචි පත්මසිරි රත්නායක නමති හතලිස්‌ එක්‌ හැවිරිදි දෙදරු පියෙකි.


මොහු හමුදාවෙන් පලා ගිය කෝප්‍රල්වරයකු බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.


සැකකරු ඉංගිරිය කුරණ ප්‍රදේශයේ නතර වී හඳහන් බැලීම හා ශාන්ති කර්ම සිදු කරන මුවාවෙන් මෙම අතවර සිදුකර ඇති බවට ඉංගිරිය පොලිසිය වෙත කාන්තාවන් පස්‌ දෙනෙකු පමණ පැමිණිලිකර ඇතැයි පොලිසිය අධිකරණයට දැක්‌වීය.


සැකකරු විවිධ ප්‍රදේශවලට ගොස්‌ ශාන්ති කර්ම කරන මුවාවෙන් පිරිමින් අතට දෙහිගෙඩියක්‌ ලබාදී ඔවුන්ව පිටත් කර කාන්තාවන්ට ලිංගික අතවර කරන බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දැක්‌වීය.


සැකකරු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.


හොරණ - විධුර විජයනාථ