මහපොළව නූහුලන අපරාධයක් මවක් වැසිකිළියක් තුළ බිහිකළ දරු සිගිත්තිය ළිඳට විසිකර මරාදමලා පැය කිහිපයකට පසු ඒ ළිදෙන්ම දිය නාලා....
අනුන්ගේ නිවෙසක වැසිකිළියකදි තමා බිහිකළ දරු සිගිත්තිය උපන් විගසම අසල තිබූ ළිඳකට විසිකර පැය කිහිපයකට පසුව එම ළිදෙන්ම දිය නාගෙන අදාළ නිවෙසට ගොස් කිසිවක් නොදන්නා ලෙස කාලය ගතකළ 41 හැවිරිදි කාන්තාවකගේ එම රහස දිනකට පසුව එම බිලිඳු සිරුර ළිඳේ ජලය මත පාවෙමින් රටටම හෙළිකළ ශෝචනීය පුවතක් පසුගියදා කුලියාපිටිය පහල පිදුම ප්‍රදේශයෙන් වාර්තා විය.
කුලියාපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්ථානයට පැමිණි පොලිසිය විසින් බිලිඳු සිරුර ළිදෙන් ගොඩගත් අතර සැකකාර මවද එහිදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර කාන්තාවගේ සැමියා නොමැති අතර ඇගේ දස හැවිරිදි පිරිමි දරුවාගේ එකම පන්තියේ යහළුවකු මෙම නිවෙසේ එම දරුවාගේද මව සමග තනිව ජීවත්වන අතර එනිසාම සැකකාර කාන්තාව දින කිහිපයක් නැවතී සිටීමට මෙම ගෙහිමි කාන්තාවගෙන් අවසර ඉල්ලා ඇත.
මේ අනුව පහල පිදුම - පදිංචිකාරියක වූ මල්ලිකා රංජනී (35) කාන්තාව මේ පිළිබඳව කරුණු දක්වමින් මෙසේ පැවැසුවාය.
මමත් දරුවාත් සමග තනිවම මේ නිවෙසේ සිටින අතර පුතාගේ යහළුවාගේ මවට (සැකකාරියට) සිදුවූ අකටයුත්තක් නිසා දින කිහිපයක් නවාතැන් ගැනීමට කරන ලද ඉල්ලීමට මම ඉඩ දුන්නා. ඇය පැවැසුවේ ඇගේ මවත්, සොහොයුරාත් හූනියමක් කර ඇති අතර, ඒ නිසාම බඩේ ගෙඩියක් ඇති බවයි. එයට ඛෙහෙත් ටිකක් බීමට ඇය නැවතීමට ඉල්ලීමක් කළ බවයි.
මේ අනුව නිවෙසේ නැවැතුණු සැකකාරිය පසුගිය 4 වැනිදා දවසේ මහත් වේදනාවෙන් වැසිකිළිය අසල නිවෙස පිටුපස සිටීම පිළිබඳව විමසීමේදී වරින් වර ගෙඩිය නිසා වේදනාවක් ඇතිවන බව පැවැසූ අතර ඇය රැගෙන ඇවිත් තිබූ කසායක්ද බී ඇත. ටික වේලාවකට පසුව සවස 4-5ට පමණ ඇය ළිදෙන් නාගෙන පැමිණ 5 වැනිදා වැඩටත් ගොස් ඇත. 6 වැනිදා උදේ ගෙහිමි කාන්තාවගේ නිවෙස අසල පදිංචි පියා පැමිණ ළිඳේ බෝනික්කෙකු පාවෙමින් සිටින බව කළ දැනුම් දීමකට අනුව ළිඳ පරීක්ෂා කිරීමේදී ළිඳේ ජලය මත පාවෙන බිලිඳු සිරුර දැක ඇත. පසුව පොලිසියට දැනුම් දී ඇති අතර එම සිරුර බලා නිවෙසට පැමිණි සැකකාරිය පවසා ඇත්තේ මෙවැනි දෑ කරන අයට හෙන ගහන බවයි. මෙනිසාම ගෙහිමි කාන්තාවට ඇය පිළිබඳ ඒ වනතුරුද සැකයක් ඇති වී නොමැත. පසුව කුලියාපිටිය පොලිසිය මෙම බිලිඳු මරණය පිළිබඳව සියුම්ව කරන නිරීක්ෂණයක් ඔස්සේ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන කරන ලද විමසීමේදි ඇය සිද්ධිය පිළිබඳ පාපෝච්චාරණයක් සිදුකොට ඇත.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි කුලියාපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් පර්සි වඩුගෙදර මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර අදාළ නිවෙසේ හිමිකාරිය වූ මල්ලිකා රංජනී (35), ඇගේ සොහොයුරිය වූ සුවිනීතා ජයකොඩි, පියා වූ ආර්.ඒ. පියසේන (75) යන අයවලුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලදී.
බිලිඳු මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කුලියාපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යැවීමට නියෝග කළ අතර සැකකාර කාන්තාව වන ඇපලදෙණිය-ගන්දර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ බී.එම්. රෝහිණී පද්ම කුමාරි (41) නමැත්තිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පො.ප. වසන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. වරුන් වන චිත්රසෝම, හේරත්, බන්දුල, විජයලත්, සිල්වා හා ජයසේන මහත්වරු සමග අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පො.ප. රණතුංග, පො.සැ. සුනිල් හා පො.සැ. ජයවර්ධන යන නිලධාරීහු මෙම පරීක්ෂණ කටයුතුවලට සහභාගි වූහ.
Comments