ලංකාවට එරෙහිව "විජේ" පාරට බසී
ශ්‍රී ලංකා යුද හමුදා වෙබ් අඩවියේ පළවු පුවතක් නිසා තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් හටඅපහාස වූ බව පවසමින් තමිල්නාඩු ප්‍රාන්තයේ දෙමළ චිත්‍රපට ක්ෂේත්රයේ නියැළෙන නළු නිලියන් ඇතුළු පිරිසක් චෙන්නායි හි පිහිටි ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතව තිබේ. විරෝධතාවට එක්වූ නළු නිලියන් ඉල්ලා ඇත්තේ චෙන්නායි හි පවතින ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වසා දැමිය යුතු බවයි.
මෙම නළු නිලියන් අතර කොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් වන විජේ හා සුරියන්ද සිට ඇති බව විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ.
ධීවර ගැටලුව ගැන ජයලලිතා ජයරාම් ඉන්දීය අගමැතිවරයාට නිරන්තර ලිපි ලිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ වෙබ් අඩවියේ පළවූ "නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල වැදගත්කම කුමක්ද?" යන අදහස ඇතිව පළවූ පුවතකින් ජයලලිතා ජයරාම්ට අපහාස වී ඇතැයි දකුණු ඉන්දීය කලාකරුවන් එහිදී පෙන්වා දී තිබේ.
එම ලිපිය සම්බන්ධව බී.බී.සී. සංදේශය කල විමසුමකට ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා ඇත්තේ රාජකාරියේ නිරතව සිටි වෙබ් අඩවි ක්‍රියා කරවන්නෙකු විසින් කිසිසේත්ම අනුමත කළ නොහැකි මට්ටමේ පෞද්ගලික අදහස් ඇතුළත් එම ලිපිය ඡායා රූපයක් ද සහිත ව පළ කොට තිබුණ බවත් ඒ බව දැනගත් වහාම අදාළ ලිපිය වෙබ් අඩවියෙන් ඉවත් කොට ඉන්දියාවේ අගමැතිවරයාගෙන් සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනියගෙන් සමාව ඉල්ලා ලිපියක් පළ කිරීමට කටයුතු කළ බවයි.
Comments