පැහැරගත් දිනිදු පුතා කියන කතාව


ගල්ගමුව, මීගලෑවේ ධනිඳු යෂේන් ඒකනායක නමැති සිව් හැවිරිදි දරුවා පැහැරගත් කප්පම්කරුවන් සිවුදෙනාගෙන් රහස්‌ පොලිසිය මේවනවිට ප්‍රශ්නකරමින් සිටින අතර ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිත වේ. 

මෙම පැහැරගැනීම පිටුපස ඇති කතාව පිලිබඳ පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා මාධ්‍යය වෙත හෙළිකොට තිබුනේ මෙලෙසය. 

පැහැරගැනීමේ අගමුල

මේ දිනිදු පුතාගේ සීයා ධනවත් ව්‍යාපාරිකයෙක්‌. දිනිදු පුතාගේ මවගේ නැඟණිය ඒ කියන්නේ පුංචි අම්මා සුදුසු සහකරුවෙක්‌ සොයමින් සිට තිබෙනවා.
දිනිදුගේ පුංචිඅම්මාට සහකරුවෙක්‌ හොයන පුවත මීට වසරකට උඩදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මංජුල කියන පුද්ගලයාට දැනගන්නට ලැබී තිබෙනවා. ඒ අනුව මංජුල කියන පුද්ගලයා ඔහුගේ මිතුරකුට මේ මනාලිය ගැන පවසා තිබෙනවා.

ඒ අනුව මංජුල අර මිතුරාට මනාලිය පෙන්වන්න එම නිවසට ගිහින් තිබෙනවා. එහිදී එම විවාහය ගැලපුණොත් සිය දියණියගෙ සහකරුට දෑවැද්ද වශයෙන් රුපියල් කෝටියක මුදලක්‌ දෙන බව දරුවාගේ සීයා කියා තිබෙනවා. ඒ අවස්‌ථාවේදී තමයි මංජුල දැන ගත්තේ මේ තරම් විශාල මුදලක්‌ දෑවැද්දට දීමට යන බවත් ඔවුන් ළඟ මේ තරම් විශාල මුදල් ප්‍රමාණයක්‌ තිබෙන බවත් මේ නිසා මංජුල තවත් මිතුරන් තුන් දෙනෙකු සමග මේ කප්පම ගැනීම සැළසුම් කළා.

කොහොම හරි මොවුන් සැළසුම් කළේ දිනිදු පුතාගේ පියා පැහැරගන්නට. නමුත් ඒක වැරදුණු තැන දිනිදු පුතාව පැහැර ගත්තා. මේ පැහැර ගැනීම සිදුවූ ජුලි 28 වැනිදා රාත්‍රී සිට දරුවා හම්බවෙන මොහොත දක්‌වාම ගල්ගමුව පොලිසිය කණ්‌ඩායම් 5 ක්‌ වශයෙන් සෑදී කප්පම්කරුවන් පසු පස ලුහුබැන්දා. දිනිදු පුතුගේ සීයාට හා පියාට ලැබී තිබුණු දුරකථන අංක විමර්ශනය කරමින් තමයි ඔවුන් පරීක්‍ෂණ පැවැත්තුවේ.

ඊට පසු පසුගිය බ්‍රහස්‌පතින්දා (31 දා) රාත්‍රියේ තමයි පරීක්‍ෂණ රහස්‌ පොලිසිය විසින් භාර ගත්තෙ. ඒ සඳහා කොළඹ සිට විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට ගොස්‌ නූතන තාක්‌ෂණ ක්‍රම භාවිතා කරමින් විශේෂ පරීක්‍ෂණයක්‌ පැවැත්වීම ආරම්භ කළා. ඒ වගේම විද්‍යාත්මක කරුණුත් සැලකිල්ලට අරන් තමයි මේ පරීක්‍ෂණය සිදුකළේ. කෙසේ හෝ රහස්‌ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර පැය 24 ක්‌ තුළදී පළමු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරු වන්නේ මංජුල සඳකැලුම්. ඔහුට අවුරුදු 32 යි. මෙයා ගල්ගමුව අතරගල්ල පදිංචි කෙනෙක්‌. දෙවන සැකකරු චතුරංග සම්පත් අවුරුදු 27 යි. මෙයා කුලියාපිටියේ පදිංචි අයෙක්‌. තුන්වැනි සැකකරු සංජීව වීරකෝන්. එයාට අවුරුදු 21 යි. එයා ගල්ගමුවේ පදිංචි අයෙක්‌. 4 වැනි සැකකරු තමයි දිනේෂ් ප්‍රියසාද්. අවුරුදු 23 යි. මොහු පින්තාරුකරුවෙක්‌.

මුණුපුරා බේරාගන්න දිනිදු ගේ සීයා රහසේම දියත්කළ රහස් මෙහෙයුම 

දිනිදු පුතු බේරාගැනීම සඳහා කෝටියක කප්පම් මුදලක් අවශ්‍යය බව දැනගත් දිනිදු ගේ සීයා සිය මුණුපුරා බේරාගැනීම උදෙසා පොලිසියටද වසන් වී රහස් මෙහෙයුමක් දියත්කොට ඇත. ඒ කෝටියක මුදලක් ලබාදී දිනිදු පුතා බේරාගැනීමටය. තමාගේ බැංකු ගිණුමෙන් මුදල් ගතහොත් එය පොලිසිය දැනගනිවියයි සැක කල දිනිදුගේ සීයා තම හිතවත් ව්‍යාපාරිකයන් ලවා කොටියක මුදල් රහසේම නිවසට ගෙන්වා නිවසේ සඟවා තබාගෙන ඇත. පසුව රහස් පොලිසිය මෙම සිදුවීමට මැදිහත්වීමත් සමග දිනිදුගේ සීයාගේ එම සැලැස්ම ව්‍යාර්ථ වී ඇත. 

පැහැරගැනීමට ලක්වූ දිනිදු පුතා කියන කතාව 

"මාමලාත් එක්‌ක ආයෙත් යන්නේ නැහැ. ඒගොල්ලෝ මාව ගල් ගුහාවක තියාගත්තා. ඒ මාමලා මට නූඩ්ල්ස්‌ කන්න දුන්නා. සෙල්ලම් කරන්න නංගි කෙනෙක්‌ ගෙනත් දුන්නා යෑයි ද යෂේන් කියා ඇත. තාත්තා ආවේ නැහැනේ.... ඒ මාමලාත් එක්‌ක ආයෙත් යන්නේ නැහැ. මම ගල් ගුහාවක හිsටියා. ඒ මාමලා මට අලුත් නෙට්‌ එකක්‌ ගෙනත් දුන්නා."
මෙම දරුවා මතකයට එන සෑම මොහොතකම වරින්වර සැකකරුවන් පිළිබඳව සිය පියාටත් මවටත් පවසන අතර පොලිසියට හෝ පිටස්‌තර අයකුට ඒ පිළිබඳව කිසිවක්‌ නොකියන බවද වාර්තා වේ. 

පැහැරගැනීමේ මහමොළකරු කියන කතාව 

"දිනිඳු බබා තියාගන්න වැඩිපුර කෑම දෙන්න සිද්ධ වුණා. වැඩිපුර කෑම කාපුවාම බබා හොඳට නිදා ගන්නවා. ඒ නිසා අපි හැම තිස්සෙම වැඩිපුර කෑම දීලා දනිඳු බබා නිදි කෙරෙව්වා."

මෙම මෙහෙයුමේ මහමොළකරු වන මංජුල සඳකැලුම් මෙසේ පවසා තිබුනේ රහස් පොලිසිය හමුවේ සිදුකල පාපෝච්චාරණය අතරතුරදීය. මෙම මෙහෙයුම සඳහා ඔහු විසින් සිය සමෘද්ධි සමිතියේ භාණ්ඩාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් 35,000ක මුදලක් සොරාගෙන ඇති අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ කප්පම් මුදල් ලැබීමෙන් අනතුරුව එම සොරාගත් මුදලත්, තවත් ඔහුගේ ඇති රුපියල් 25,000 ක ණය මුදලකුත් පියවා දැමීමයි. 

දඬුවම

මෙම සිදුකරන ලැබූ වරදට උපරිම වසර 20 ක් දක්වා සිර දඬුවම් ලබාදිය හැකි බව පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා විසින් හෙළිකොට තිබුණි. 

Comments