ලක්ෂ 75 ක රන් පස්සෙන් අදී


රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා රත්තරන් බිස්කට්  පහලොවක් ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද  අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ වත්තල සහ කොළඹ 12 යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති. ඔවුහු වයස  42 සහ 49 වියේ පසුවන රෙදි පිළි ව්‍යාපාරිකයෝ  බව රේගුව කියයි.
මොවුන් දෙදෙනා කිලෝග්‍රෑම් එකහමාරක් වටිනා රන් බිස්කට් තම ගුද මාර්ගයේ සගවා තිබු බව රේගුව කියයි.
සැකකරුවෝ අද අලුයම 2.05 ට පමණ  ඊ.කේ 349 දරණ ගුවන්යානයෙන්  සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ඇත. ඔවුන්ගේ ගුවන් ගමන් විස්තරය පිළිබඳ ඇති වු සැකයක් මත මෙම රන් බිස්කට් සොයාගෙන ඇත.
 ඔවුහු පෙරදින සිංගප්පුරුවට ගොස් ඇති බව රේගුව කියයි.
මින් එක අයෙකු ළඟ රන් බිස්කට් 3 ක් ද අනෙකා ළග රන් බිස්කට් 12 ක්ද තිබු බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ලාලන සෙනවිරත්න මහතා ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන  එස්.එල්.ඒ රිෆායි, එස්. ඥානදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන පී.එච්.යු.අයි විෙජ්පාල සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල කුමාර, එස් අතුකෝරල, රුවන් අල්විස්, රුවන් රත්නායක, දේවප්‍රිය වීරසිංහ, මහිල් මසුශංක, චතුර අබේසිරි ගුණවර්ධන, තුසිත අධිකාරම් යන නිලධාරීහු සිදු කරති