මාත‍ලේ උපාධි අපේක්ෂිකාවගේ ඝාතකයා හොරෙක්....



මම කාමරේට එබිකම් කළේ ගෙනියන්න පුළුවන් දෙයක් තියෙනවද කියල බලන්නයි. මුළු කාමරේම අඳුරුයි. ඇඳට විතරක් හඳ එළිය වැටිල තිබුණා. ඒ එළිය වැටිල තිබ්බේ වහ‍ලේ වීදුරු උළු කැටෙන්. ඇඳේ නිදාගෙන හිටියා ගෑනු ළමයෙක්. එයාගේ ඇඳුම් එහා මෙහා වෙලා තිබුණා. එයා ගැන මට ආසාවක් ඇතිවුණා. මම ඇය ළගට ගිහින් අතේ තිබුණ මිටියෙන් ඔළුවට පහරක් ගැහුවා. පස්සේ එයාව උස්සගෙන එළියට ගෙනාවා.

මාස හයකට ආසන්න කාලයක් මහත් අබිරහසක්ව පැවැති මාත‍ලේ වරාපිටියේ විසි හතර හැවිරිදි උපාධි අපේක්ෂිකාවක වූ ලලනි නදීශා මෙනවිය ඝාතනය කර දූෂණය කළ අයුරු, එම ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් ඉදිරියේ පා‍පොච්චාරණය කර ඇත්තේ එසේය.

මෙම සැකකරු ලලනි නදීශා පදිංචිව සිටි වලව්වේ සිට මීටර් 300ක් පමණ දුරක පදිංචිව සිටින අයෙකු බවත් ඔහු සොරකම් රැසකට හසුවී ඇති අයෙක් බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ලලනි නදීශා ඝාතනය කර දූෂණය වන්නේ ඉකුත් මැයි 25 දා අලුයම් කාලයේදීය. ඊට පෙරදින රාත්‍රියේ ඇගේ සහෝදරයා විවාහ වී මනමාලිය නිවසට කැන්දාගෙන ඒමේ උත්සවය 
නිවසේ පැවැත්විණි. ඇගේ ඝාතනය අබිරහසක් බවට පත්වන්නේ ඝාතකයා ගැන කිසිදු හෝඩුවාවක් ඉතිරිව නොතිබුණු බැවිණි. නිවැසියන් අවසන් වරට දැක්කේ 24 දා රාත්‍රියේ ඇය නින්දට යන අයුරුය. ඉක්බිතිව ඇගේ නිරුවත් මළ සිරුර නිවසට මදක් ඔබ්ඛෙන් දොළ පාරක් අසල පිහිටි කැලෑබද ප්‍රදේශයකින් හමුවන්නේ 25 වෙනිදා අලුයම් කාලයේදීය.

මුලදී කියවුණේ නිවසේ දොරගුළු වසා දමා නිවැසියන් නින්දට ගිය පසු ඇගේ ඝාතනය සිදුවී ඇති බැවින් එය නිවස තුළ සිටි අයකුගේ වැඩක් වන්නට හැකි බවය. ඝාතකයා නිවස තුළ සිට ඇයව මරා නිවසින් පිටතට ගෙන ගොස් දූෂණය කර ඇති බවට පෙන්වීමට ඇයව නිරුවත් කරන්නට ඇති බවට සැකයක්ද ඇතිවිය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වන්නේ නිදා සිටි ඇගේ හිසට මිටියක් වැනි බර අවියකින් එල්ල කරන ලද පහරකින් ඇය ඝාතනය වී ඇති බවය. ඇය දූෂණය වී ඇති බවට ඇති වූ සැකයක් මත කෙරුණු විමර්ශනයකදී ඇගේ යෝනි මාර්ගයෙන් ඇය දූෂණය කළ බවට සැකකරන පුද්ගලයෙකුගේ ශුක්‍රානු සොයා ගැනීමත් සමග පරීක්ෂණ නව අතකට යොමුවිය.

මෙම ඝාතනයේ සැකය ඇගේ සහෝදරයන් දෙසටත් සහෝදරයන්ගේ මිතුරන් දෙසටත් ඇගේ ඥාතීන් දෙසටත් එල්ලවිය. එබැවින් ඝාතකයා හෙළි කර ගැනීමට ඒ සෑම පුද්ගලයෙකුගේම ඩී.එන්.ඒ. පරීක්ෂණයන් කිරීමද විශේෂත්වයකි. එසේ ඒ අය දෙස සැකයක් එල්ල වී ඇත්තේ දේ‍පොළ ඛෙදා ගැනීමක් සම්බන්ධයෙන් පවු‍ලේ සහෝදරයන් සහ ඇය අතර පැවැති ආරවුලක් හේතුවෙනි.

මාත‍ලේ ‍පොලීසිය, මාත‍ලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය , මහනුවර දිසා අපරාධ අංශය ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් රැසක්ම මෙම අබිරහස් ඝාතනය විසඳීමට දැඩි උත්සහයක නිරත වුවත් ඒ සෑම අංශයක්ම අසාර්ථක වූ තැන පරීක්ෂණ සියල්ල ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් ජූලි 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ‍පොලිස්පති රවි සෙනෙවිරත්න, අධ්‍යක්ෂ ඩී.ආර්.එල්. රණවීර යන මහත්වරුන්ගේ මෙහෙයැවීමෙන් ‍පොලිස් අධිකාරී පනාමල්දෙණිය මහතා ඇතුළු කණ්ඩායමකට ඒ අනුව එම ඝාතන විමර්ශනය භාර විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී දේ‍පොළ ආරවුල් ගැන සොයන්නට වෙහෙසක් ගත්තේ නැත. ප්‍රදේශයේ සිටින සොරුන් සහ මංකොල්ලකරුවන් කෙරෙහි සිය අවධානය යොමුකරනු ලැබිය. සැකයට ලක්වන පුද්ගලයන් ගැන අධිකරණයට කරුණු වාර්තා කොට අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඩී.එන්.ඒ. පරීක්ෂාවන්ට ඒ අයව යොමු කරනු ලැබිය. ලලනි නදීශා ඝාතනය ගැන මේ වන විට එසේ ඩී.එන්.ඒ. පරීක්ෂාවන් සඳහා යොමු කර ඇති පුද්ගලයන් ගණන 16කි.

මෙහිදී ‍පොලිස් කණ්ඩායමේ දැඩි සැකයට ලක්වන්නේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙකි. මේ පුද්ගලයා ඇගේ නිවසේ සිට මීටර් 300 ක දුරකින් පදිංචිව සිටින්නෙකි. දෙදරු පියෙකු වන ඔහු හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මාත‍ලේට එන්නේ විවාහ වීය. මාත‍ලේ සිටින්නේ ඔහුගේ බිරිඳය.

මාතලෙන් ඔහු විවාහ වී ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ ගෙවල් බිඳ සොරකම් කිරීම හේතුවෙන් ‍පොලීසියෙන් බේරෙන්නටය. මේ පුද්ගලයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම්වලදී ඔහු මුලින් පවසා ඇත්තේ ඇගේ ඝාතනය වන දින ඔහු සිටියේ ඇළහැර ප්‍රදේශයේ බවය. ඔහුගේ ජංගම දුරකථනය විද්‍යාත්මක පරීක්ෂාවකට ලක්කිරීමේ දී ඔහු එදින ඇළහැර ප්‍රදේශයේ සිට නැති බවත් සිට ඇත්තේ මාත‍ලේම බවත් අනාවරණය වී ඇත. ඇළහැර ඔහු සිටියේ යැයි කියන ස්ථානවලට ගොස් පරීක්ෂා කිරීමේදීද ඔහු ඇළහැර ඒ දිනවල පැමිණ නැති බව තහවුරු වීමෙන් ඇති වූ සැකයක් මත ඔහුව ඩී.එන්.ඒ. පරීක්ෂාවකට යොමුකර තිබේ.

ඝාතනයට ලක්වූ ලලනි නදීශාගේ යෝනි මාර්ගයේ තැවරී තිබි සොයාගත් ශුක්‍රාණුවල ඩී.එන්.ඒ. රටාව සහ මෙම පුද්ගලයාගේ රුධිරයෙන් ලබාගත් ඩී.එන්. ඒ. රටාව සමාන බව විද්‍යාත්මකව තහවුරු වී ඇත්තේ එහිදීය. ඒඅනුව ලලනි නදීශාගේ ඝාතනයට සැකපිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය.

මංගල උත්සවයක් එම නිවසේ පැවැති බැවින් එම නිවසට 25 වෙනිදා අලුයම යන්නේ අතට හසුවන වටිනා කියන යමක් රැගෙන යන්නට බව ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කර තිබේ. දොරවල් අගුල් ලා තිබුණු බව නිවැසියන් පැවැසුවද ප්‍රධාන දොරේ අගුල් ලා නොතිබුණු බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

නිදා සිටි අයගේ ඇගට උඩින් පරිස්සමට අඩිය තබමින් සෑම කාමරයකටම රිංගූ බව සැකකරු පවසා ඇත. මනමාල යුවළ සිටි කාමරයට යන විට දෙදෙනා තද නින්දේ සිටි බවත් එම කාමරයෙන් වටින කියන යමක් සොයා ගන්නට හැකි වන්නේ මනමාලියගේ අත්බෑගයේ තිබුණු රුපියල් 3000 ක් පමණක් බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

සැකකරු පවසන ආකාරයට අනුව ලලනි නිදා සිටි කාමරයට එබිකම් කරන්නේ අවසානයටය. ඒ වන විට ඔහුට සොරකම් කර ගැනීමට හැකිවී ඇත්තේ රුපියල් 3000ක් පමණි. රාත්‍රී නිදන ඇඳුමෙන් සිටි නදීශා දුටු විට දූෂණය කිරීමට සැකකරුට අදහසක් ඇති වී තිබේ. නිවසේ තිබුණු මිටියක් අතටගෙන එයින් ඇගේ හිසට පහරක් එල්ල කර ඇයව කර මත තබාගෙන නිවසින් පිටතට ගෙන ගිය බව ඔහු පවසා ඇත. ඒ රැගෙන යන විට ඇයට පණ තිබුණු බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. නිවස අසල දොළ පාරක් සමීපයට ගොස් ඇගේ හිසින් ගලන ‍ලේ සෝදා පිරිසිදු කර ඇයව නිරුවත්කර දූෂණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කළ පා‍පොච්චාරණයන්ට අනුව අනාවරණය වී තිබේ. 

මේ සියල්ල අවසානයේ දී කිසිවක් නොවූ ලෙස තම නිවසට ගොස් මේ පුද්ගලයා උදෑසන ගම්වාසීන් සමග මළ ගෙදරට පැමිණ ඇගේ මරණයට දුක්වී ඇති බවද සඳහන්ය.

සාක්ෂි නොමැති අබිරහස් ඝාතනයක් ලෙස කාලයත් සමග වැළලෙන්නට තිබුණු ලලනි නදීශාගේ ඝාතකයා කොටුකරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ගෙවී ගිය මාස තුනකට අධික කාලය මුළුල්‍ලේ දැඩි වෙහෙසක් දරා තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ