අජටාකාශයේ පිපිරීමක්‌ හටගෙන විකිරණ පොළව දෙසට ගමන් කරයි

හිරු මතුපිට සිදුවූ පිපිරීම් දෙකක චුම්බක විකිරණ ගිනි දැල් මිහිතලය දෙසට එමින් පවතින බව එක්‌සත් ජනපද නාසා ආයතන විද්‍යාඥයෝ පවසති. එම පිපිරීම් සිදුවී ඇත්තේ පසුගිය 11 දා ය. පෘථීවිය දෙසට පැමිණෙන එම කිරණ හේතුවෙන් පෘථීවි කක්‌ෂයේ රඳවා ඇති චන්ද්‍රිකාවල ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල වනු ඇතැයි නාසා විද්‍යාඥයෝ බිය පළ කරති.

චන්ද්‍රිකාවලට සිදුවන බලපෑම් හේතුවෙන් පෘථීවියේ සන්නිවේදන කටයුතු මුළුමනින්ම අඩපණ වීමේ අවදානමක්‌ ඇති බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පෘථීවියේ සිට කිලෝමීටර් මිලියන ගණනාවක්‌ දුරින් පිහිටා ඇති හිරුගේ මෙවැනි පිපිරීම් බහුලව සිදුවෙයි. එහෙත් පෘථීවිය දක්‌වා විහිදෙන විද්යුත් චුම්බක විකිරණ ගිනිදැල් නිකුත් වීම සිදුවන්නේ කලාතුරකිනි.

මෙවැනි විද්යුත් චුම්බක විකිරණ ගිනිදැල් නිකුත් වීම භූ චුම්බක කුණාටුවක්‌ ලෙස ද හැඳින්වෙයි. කුණාටුවක්‌ යෑයි කීවත් මේවා ආරෝපණ අංශු වලින් සමන්විත හෙයින් පියවි ඇසට නොපෙනෙන බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. ප්‍රථම වරට අභ්‍යවකාශ කුණාටුවක්‌ ගැන වාර්තා වූයේ 1859 වසරේදීය. ඒ ගැන ප්‍රථම වරට ලොවට හෙළි කළේ බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥ රිචඩ් කැරින්ටන්ය.

ඉන් පසු සිදුවුණු අභ්‍යවකාශ භූ චුම්බක කුණාටු නිරීක්‍ෂණය කිරීමට නූතන තාරකා විද්‍යාඥයන් සමත් වූයේ නවීන තාක්‌ෂණය යොදා ගනිමිනි. 1972 දී අති විශාල සූර්ය ගිනිදැල් විදීමක්‌ සිදුවී එයින් පෘථීවිය දෙසට විහිදුණු ආරෝපණ අංශු හේතුවෙන් ඇමරිකාවේ ඉලිනෝයි ජනපදයේ දිගු දුර දුරකථන පනිවුඩ හුවමාරුවලට බාධා එල්ල වූ බව නාසා ආයතනය සිහිපත් කර ඇත. මෙම විකිරණවලින් පෘථීවිය මතුපිට වාසය කරන අපට අනතුරක්‌ නොවන බවත්, පෘථීවිය වටා ඇති අදිසි ආරක්‍ෂක ආවරණය නැතහොත් ඕසෝන් ස්‌ථරය එම අහිතකර විකිරණ උරා ගන්නා බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

Comments