පොට්ටු අම්මාන්“ අත්අඩංගුවට ගත්තායි කීම පිළිගත නොහැකියි - බ්‍රිග්‍රේඩියර් රුවන්

විදෙස් රටකදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොට්ටු අම්මාන් වශයෙන් හදුන්වා දෙමින් වැරදි ප්‍රචාරයක් පසුගිය දිනවල වෙබ් පිටුවල පළවූ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කළේය.
මෙවන් වාර්තාවල සත්‍යතාවක්  තිබිමේ ඉඩකඩක් නොමැති බව ලංකාපුවත් සේවය කළ විමසීමකදී බ්‍රිග්‍රේඩියර් රුවන් මහතා පැවසීය.
පොට්ටු අම්මාන් නමැති එල්.ටී.ටී.ඊ  හිටපු බුද්ධි අංශක නායකයා මිය ගිය බවට විවිධ තොරතුරු සහ සාක්ෂි ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ඔහුගේ සිරුර හමුනොවුවත් ඔහු තුවාල වී සිටි අයුරු  ඇසින් දුටු පුද්ගලයින් සිටින බවට සාක්ෂි ලැබී  ඇත.
එවන් වාතාවරණයකදී පොට්ටු අම්මාන් අත්අඩංගුවට ගත්තායැයි කිසිසේත්ම පිළිගත නොහැකි බව බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතා අවධාරණය කළේය.
පසුගියදා විවිධ මාධ්‍ය ඔස්සේ  එල්.ටී.ඊ හිටපු බුද්ධි අංශක නායක පොට්ටු අම්මාන් හොංකොංවලදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනා බවද එය එම මාධ්‍ය වාර්තා කරයි.
“ශම්මුනාල් ශිවාංශංකර්“නම් වන පොට්ටු අම්මාන් ඉන්දියාවේ හිටපු අගමැති රජෙව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන විත්තිකරුවකු ලෙස ඉන්ටර්පෝල් ලැයිස්තුවට නම ඇතුළත් වූ පුද්ගලයෙකි.
බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතා “ද හින්දු පුවත්පත“ට පවසා ඇත්තේ,  යුද්ධය අවසාන භාගයේදී භාරවූ එල්.ටී.ඊ ත්‍රස්තවාදීන්  පොට්ටු අම්මාන් ඔහුගේ තුවාල හේතුවෙන්  මරණයට පත්වූ බව තහවුරු කළ බවයි.
පොට්ටුඅම්මාන් 2009 වසරේ පැවැති අවසන් යුද ගැටුම් හිදී මියගිය බවත්, ඔහුගේ සිරුර හමුනොවුණ බවත්, එවකට වන්නි ප්‍රදේශය බාරව සිටි හමුදා ප්‍රධාන ජෙනරාල් ජගත් ජයසූරිය මහතා කියයි.
ඉන්දු පුවත්පත  තවදුරටත් වාර්තා කර සිටින්නේ, ශ්‍රී ලංකා හමුදාවේ වාර්තාවලට අනුව ඉන්දියාවේ හිටපු අගමැති රජෙව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන විත්තිකරුවන් වූ ශම්මුනාල් ශිවාංශංකර් නමැති පොට්ටු අම්මාන් සහ වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැත්තා ඉන්දීය උසාවිය මඟින් විත්තිකරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කළ බවයි.
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් මෙවැනි අසත්‍ය පුවත් අනාවරණය කරන බවත්, ඔවුන්ගේ අභිප්‍රාය එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් තවදුරටත් පවතින බව කියමින් මුදල් රැස්කිරීම බව ශ්‍රී ලංකා ආරක්ෂක ප්‍රධානීන් කියයි.
ද්‍රවිඩ වෙබ් අඩවියක් මගින් වාර්තා කර තිබුණේ එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන් පසුගිය 9වැනිදා හොංකොං හිදී අත්අඩංගුවට ගැනුණ බවයි.
සිය බිරිය හා දරුවන් බැලීමට ඔහු කැනඩාවට යාමට සුදානමින් සිටියදී එසේ අත්අඩංගුවට ගැනුණ බවත් ඔහු හා පවුලේ සාමාජිකයින් ශ්‍රී ලංකාවට ගෙනඒමට නියමිත බවත් එසේ සඳහන් කර තිබුණි.
පොට්‌ටුඅම්මාන්ගේ උප්පැන්න සහතිකයේ තිබෙන නම ෂන්මුගලිංගම් ශිවශන්කර්ය. 1981 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඔහු එකතු වන්නේ සුසෙයි සමගය.

මානුෂික මෙහෙයුමේ අවසාන දින කිහිපය ගත වුණේ එල්.ටී.ටී.ඊ. යේ නායක පොදිය දඩයම් කිරීම සඳහාය. ප්‍රධාන පෙළේ සියලු නායකයින් එතැනදී ඝාතනය වූ අතර ඔවුන්ගේ මළ සිරුරු ද හඳුනා ගනු ලැබීය. මළ සිරුර නොමැතිවීමෙන් තවමත් ජීවත්වන බවට කතාවක්‌ ඉතිරි කර තැබූ නායකයා වූයේ පොට්‌ටුය.

ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන්ම සනාථ කර තිබෙන කාරණයක්‌ වන්නේ පොට්‌ටු අම්මාන් මළගිය ඇත්තන්ගේ ගොඩට එකතුවී ඇති බවයි. 2009 සැප්තැම්බර් මස කොළඹ මහාධිකරණයේදී විභාග වූ ලක්‍ෂ්මන් කදීර්ගාමර් ඝාතන නඩුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න විසින් අධිකරණ යේදී කියා සිටියේ එම නඩුවේ ප්‍රධාන විත්තිකරුවන් දෙදෙනා වන වේළුපිල්ලේ ප්‍රභාකරන් හා පොට්‌ටු අම්මාන් මියගොස්‌ ඇති බවය.
යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතාගේ අදහස............

Comments