මුහුණු වසාගත් මැර කල්ලියක් තුවක්කු සමග පාසලට කඩාවදී


බියට පත් වතෝගල පාසලේ දරුවන් ගොළු වෙයි 
             යක්‌කලමුල්ල වතෝගල කනිෂ්ඨ විද්‍යාලයට 28 උදැසන කඩා වැදුණු බිහිසුණු සොර කල්ලියක්‌ නිසා පාසල් දරුවන් හා දෙමව්පියන් භීතියෙන් භීතියට පත්ව ඇත.


ඊයේ උදැසන 7.00 ට පමණ සම්පූර්ණයෙන් හිස්‌ ආවරණ සහිතව කළු ඇඳුම් ඇඳගත් පුද්ගලයන් තිදෙනකු පාසලට කඩා වැදී පාසලේ සිටි දරුවන්ට තුවක්‌කුවක්‌ එල්ලකර පිහියකින් ඇනීමට තැත්තර පළාගොස්‌ ඇත. විදුහල්පති පී. ජී. තිලකරත්න මහතා පාසලට පැමිණෙන විට භීතියටපත් දරුවන් කතා කිරීමට පවා අසමත්ව සිට ඇත.

විදුහල්පතිවරයා වහාම යක්‌කලමුල්ල පොලිසියට හා පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දන්වා ගම්වාසීන් ඒකරාශීකර ඇත. පොලිස්‌ ස්‌ථානාධිපති ඩී. ආර්. රාජපක්‍ෂ මහතා නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමග ගොස්‌ ගම්වාසීන් සමග මුළු ගම්මානයට පීරා පරීක්‍ෂා කර ඇතත් කිසිම හෝඩුවාවක්‌ සොයා ගැනීමට නොහැකිවී ඇත.

මේ වන විට දෙමව්පියන් දරුවන් පාසලට නොඑවන තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ. මෙය විදුහල වසා දැමීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක්‌දැයි සැක සහිත බව විදුහල්පතිවරයා පවසන අතර යක්‌කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වමින් සිටී.