වසර 2300ක් ඉපැර‚ තඹ කම්හලක් හමුවෙයි


පුරාතන ශ්‍රී ලංකාවේ වා‚ජ වශයෙන් තඹ භාණ්ඩ නිෂ්පාදනය සිදුවූ බවට තහවුරු කෙරෙන තඹ උදුන් සංකීර්ණයක් සේරුවිල කාවන්තිස්සපුර සිදුකරන ලද කනීම්වලින් සොයා ගැනීමට කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිලධාරීන් ඊයේ (07) සමත් වී ඇත. 

ශ්‍රී ලංකාවේ වානිජ මට්ටමේ තඹ කර්මාන්තයක් පැවැති බවට හමුවූ මුල්ම සාක්ෂිය මෙය වන අතර මෙම හමුවූ සාධක ක්‍රි.පූ. 250 ඉක්මවන බව දැනට ප්‍රකාශ කළ හැකි බව මෙම පර්යේෂණ කණ්ඩායමේ කැණිම් භාර නිලධාරි ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා රිවිරට පැවසීය. 

මෙම තඹ උදුන් සංකීර්ණයට අමතරව තඹ නිෂ්පාදන අමුද්‍රව්‍ය, බොර, වළං කටු විශාල ප්‍රමාණයක් සොයාගත් බව ආචාර්යවරයා ප්‍රකාශ කළේය. මෙම තඹ උදුන්වලින් සකසා ගන්නා තඹ ලංකාවේ පමණක් නොව විදේශ රටවලටද යවා ඇති බව ඉලංකතුරෙයි වරාය කැණිම් මගින් සොයාගත් බව තඹ කැබලි හා මෙම සොයාගත් තඹ සමග සංසන්දනාත්මකව බැලීමේදී තහවුරු වන බවද ඒ මහතා සඳහන් කළේය. 

මේ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය තන්ත්‍රීගේ මහතා, —මෙම ස්ථානයේ ජල නළයක් දැමීමට ‍පොළොව හෑරූ අවස්ථාවේ ගඩොල් මතු වී තිබුණා. ඒ ලැබුණු තොරතුරු අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හදිසි බලපත්‍රයක් ලබාගෙන මෙහි කැණීම් කටයුතු ආරම්භ කළා. සති දෙකක කැණීම් කටයුතුවලින් අනතුරුව අපිට මෙම තඹ උදුන් සංකීර්ණය සොයා ගැනීමට හැකි වූවා. 

මෙම තඹ උදුන් සංකීර්ණයේ කාලනිර්ණ වාර්තාව ලබාගැනීම සඳහා කාබන් 14 කාල නිර්ණ වාර්තා ලබාගැනීමට යොමු කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය. අද (08) දිනයේ කැණීම් කටයුතු අවසන් කරන බවත් නොනවත්වා පර්යේෂණ කටයුතු සිදුකරන බවත් ආචාර්ය අර්ජුන මහතා ප්‍රකාශ කළේය.

Comments