සැමියා නොසලකන නිසා 17 හැවිරිදි බිරිය හෙරොයින් තෝරා ගනී


  හෙරොයින් පානයට ඇබ්බැහි වූ සහ හෙරොයින් අලෙවි කිරීමට පුරුදුව සිට 17 හැවිරිදි තරුණියක් උතුරු මැද පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 450ක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
             . අත්අඩංගුවට පත්ව ඇත්තේ ඥානික්කුලම, අනුරාධපුර ලිපිනයේ පදිංචි වයස අවුරුදු 17 මාස 10ක් පමණ වන තරුණියකි. ඇය යුද හමුදා සෙබළකු සමඟ විවාහ වී ඔහුගේ නිවසේ පදිංචිව සිටින බවද පොලීසිය සඳහන් කරයි.
එහෙත් ඇය නීත්‍යානුකූල අයුරින් විවාහ වී නැති බවත් සාමාන්‍ය පෙළ විභාගය ඉතා හොඳින් සමත් වී ඇති බවත් පොලීසිය පවසයි. පාසල් සමයේ ඇති කරගත් පෙම් සබදතාවක් මත යුද හමුදා සෙබළා සමඟ පවුල් ජීවිතයක් ගත කරන බවද පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.
සැකකාරියගේ සැමියා නිවාඩුවට නිවසට පැමිණියත් ඇයගේ ඕනැ එපාකම් පිළිබඳව නොතැකීම හේතුවෙන් විවිධ අවස්ථාවලදී වස පානය කර සියදිවි නසා ගැනීමට සිතට පැමිණෙද්දී හෙරොයින් පානය කර එම සිතුවිල්ල මැඩ පවත්වාගන්නා බවද ඇය පොලිසියට පවසා තිබේ.
         සිය අවශ්‍යතා සඳහා මුදල් උපයා ගැනිම සඳහා හෙරොයින් අලෙවියේ නිරත වීමට පෙළඹී ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර සැකකාරිය විසින් පුද්ගලයකුට හෙරොයින් අලෙවි කර තිබියදී අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලදි මේ තැනැත්තිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලීසිය පවසයි.
කොළඹ ප්‍රදේශයට ගොස් හෙරොයින් ගෙනවිත් තනපටේ සඟවාගෙන සැමියාගේ මිතුරන් වන හෙරොයින් පානයට ඇබ්බැහි වූ වන්ට ඒවා අලෙවි කරන බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. සැකකාරිය ඊයේ 26 අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Comments