15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබිණියක කල 25 හැවිරිදි ප්‍රේමවන්තයා කොටු


වයස අවුරුදු 15 යි මාස 07ක පාසල් සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇය ගැබිණියක් බවට පත් කර පලා ගොස් ඇති තරුණයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව මාරවිල පොලීසිය කියයි.

අතවරයට ලක් වී ගැබිණියක් බවට පත්ව ඇත්තේ මාරවිල පොලිස් වසමේ කටුනේරිය - ගල්බොක්කවත්ත පදිංචි මාරවිල ප්‍රදේශයේ පාසලක 11 වන වසර පන්තියේ ඉගෙනුම ලබන දැරියක වේ.

පලා ගොස් ඇති සැකකරු අතවරයට පත්ව ඇති දැරිවියගේ පෙම්වතා ලෙස ඇය ඇසුරු කර ඇති අතර ඔහු කටුනේරියේ පදිංචි 25 හැවිරිදි අයකු බව අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය කියයි.

තම දියණිය නිතර රෝගී වීම හේතුවෙන් ඇයව ප්‍රතිකාර සඳහා පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට දැරිවියගේ මව්පියන් කටයුතු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය සත් (07) මස් ගැබිණියක බවය. ඒ අනුව මව්පියන් විසින් දැරිවියගෙන් මේ සම්බන්ධයෙන් විමසා තිබේ.

පලා ගිය සැකකරු අතින් තමන් පසුගිය වසරේදී අතවරයට පත් වූ බව දැරිය මව්පියන්ට පවසා ඇත. ඔහු එතැන් පටන් මාස කීපයක් දැරියට අතවර කොට තිබේ. දැරියගේ මව්පියන් සැකකාර පෙම්වතා සොයා ගියත් ඔහු ඒ වන විට ප්‍රදේශය  අතහැර ගොස් තිබී ඇත.

ඒ දැරියගේ දෙමව්පියන් මාරවිල පොලීසියට මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.දැරිය මේ වන විට මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.