එයා අපේ අම්මට අයුතු යෝජනා ගෙනාවා

     "අපි දන්න කාලේ ඉඳලා තාත්තා හිටියේ හිර ගෙදර.මට මතකයි අම්මා මාවයි,නංගිවයි අත් දෙකෙන් අල්ලගෙන හිර ගෙදර යනවා.අපිව දැක්කම තාත්තා අඬනව.

අම්මත් අඬනවා.ආයෙත් තාත්තා මාස ගානකට පස්සේ ගෙදර එනවා.තාත්තා ගෙදර ආපු දවසට අපිට රජ මඟුල්.අම්මා කුකුල් මස් ගෙනැල්ලා කහ බත් උයනව.

ඒ තමයි අපේ තාත්ත කන්න කැමතිම කෑම.තාත්තගේ යාළුවොත් එනවා.ඒ එන්නේ හිස් අතින් නෙමෙයි,අරක්කු බෝතලයක් අරගෙන.

යාළුවෝ යනකොට රෑ වෙනවා.සිංදු කියලා ඩොල්කි ගහලා තමයි යන්නේ.අම්මා මේවට කේන්ති ගන්නේ නැහැ.ඒත් පහුවදා ඉඳලා තාත්තා ආයෙමත් පුරුදු රස්සාව පටන් ගන්නවා."

මොකක්ද පුරුදු රස්සාව........

"තාත්තා හැමදාම කළේ කසිප්පු පෙරණ ගාමිණි ළඟ වැඩ කරපු එක.අම්මා තාත්තා එක්ක එනකොට දැනගෙන ඉඳලා නැහැ තාත්තා මේ වගේ රස්සාවක් කරන බව.තාත්තා අම්මව බැන්දට පස්සේ තාත්තගේ අම්මා, මහගෙදර ඉඩමෙන් කොටසක් තාත්තට දීලා ලස්සනට නැතත් අපේ ගෙයි කාමර දෙකක් තිබුණා.

තාත්තා අපට කොහොම සැලකුවද කියන්න මට අදටත් තේරෙන්නේ නැහැ.ඒත් අපට ආදරයෙන් කරුණාවෙන් බැලුවේ අම්මයි ආච්චියි"

එතකොට තාත්තා මොනවද කළේ......?

"තාත්තා ගාමිණි ළඟ වැඩකළා.ඒ ලැබෙන සල්ලි වලින් ගෙදරට එළවළු මල්ලක් ගෙනාවා.එච්චරයි.අපට උගන්නන්න වියදම් කළේ අම්මා.අම්මා ගාමන්ට් එකක වැඩට ගියා.උදේට උයලා අපිවත් ඉස්කෝලෙට ඇරලලා අම්මා යනවා.ආයේමත් රෑට ඇවිත් උයනවා....."

තාත්තා......

"තාත්තා අපි ගැන බලන්නේ නැහැ.සමහර දවස් වලට තාත්තා අම්මා එක්ක රණ්ඩු වෙනවා.ඒ පැත්තම රෑට නිහඬ වුනාම අපේ ගෙදර තමයි සද්දේ ඇහෙන්නේ.

තාත්තා අම්මට ගහනව.අම්මා අපිවත් අරගෙන ගිහින් දං කැලේ හැගෙනවා.ඒත් ආයෙමත් මහරෑට තාත්තට නින්ද ගියාම ගෙදර එනවා.පහුවදාට වෙරි හිදුනාම තාත්තම තමයි අම්මගේ ඇගේ තුවාලවෙච්ච.තැලිච්ච තැන්වලට බෙහෙත් දාන්නේ.

අම්මා අපට කිව්වේ තාත්තා වගේ වෙන්න එපා,හොඳට හැදෙන්න කියලා....ඒත් මට ඒහෙම වෙන්න බැරිවුණා....."

ඇයි ඒ.....

"තාත්තයි තත්තගේ යාළුවොයි එකතුවෙලා ගාමිණි ළග හිටපු මිනිහෙක්ව මරලා තිබුණා.

ඕක වුණේ මට අවුරුදු දොළහක් විතර කාලේ.තාත්තයි යාළුවෝ ටිකයි වැරදි කාරයෝ වුණා.තාත්තා හිරේ ගියා.අපට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව ගියා.අම්මයි මමයි නංගියි හුඟක් අසරණ වුණා.

ආච්චිට ,මාමලාටඅපට සලකන්න තරම් සල්ලි තිබුණේ නැහැ.අන්තිමට අම්මා තීරණය කළා, ආච්චිට අපව බලාගන්න දීලා රට යන්න.

අම්මා රට යනකොට නංගී පහේ පන්තියේ.එයා ඉගෙනගන්න දක්ෂයි.ඒත් අපට අම්මා ඉන්නවා වගේ සතුටක් තිබුණේ නැහැ.අම්මා එවන සල්ලි වලින් ආච්චි එයාගේ අතින් දුවලා පුතාලා බැලුවා.

අපට හරියට කන්න බොන්නවත් දුන්නේ නැහැ.මගේ ඉස්කොලේ ගමන ටිකින් ටික මඟ හැරුණා.

අම්මා රට ගිහින් අවුරුදු එක හමාරකින් විතර ආපහු ගෙදර ආවා.අම්මා එහෙම ආවේ කවුදෝ අම්මට කියලා තියනවා ආච්චි අපට හරියට සලකන්නේ නැහැ කියලා යවපු ලියුමක් කියවලා......"

 

අම්මා ආවට පස්සේ මොකද වුණේ........?

"අම්මා තාත්තා බලන්න හිරගෙදරට ගියා.අම්ම හුඟක් කම්පා වුණා මගේ ඉස්කෝලේ ගමන අතහැරුණ එකගැන.

අම්මා උත්සාහ කළා මාව ආයෙමත් ඉස්කෝලේ යවන්න.ඒත්මං කැමති වුණේ නැහැ.ඒ වෙනකොට මම ගමේ කොලු රෑනට එකතුවෙලා හිටියේ.

ඇත්තම කිව්වොත් අවුරුදු පහළොව වෙනකොට මම අරක්කු බොන්නත්,සිඟරැට් බොන්නත් පුරුදු වුණා.අම්මට මාව ගොඩගන්න බැරිවුණා.අම්මා ආයෙමත් රට යන්න ලෑස්ති වුණා"

එතකොට නංගී........

"නංගි ඒ වෙනකොට ලොකු ළමයෙක් එයා ලස්සනයි.හරියට අම්මා තරුණ කාලේ වගෙයි.අම්මා නඃගිව අම්මගේ නංගිට බාරදුන්නා.

        පුංචි අම්මා හිටියේ අනුරාධපුරයේ.අම්මා මාවත් අනුරාධපුරේ යවන්න හැදුවා.ඒත් මං බෑ කිව්වා.අම්මා ආයෙම රට ගියා.අම්මා ආයෙම රට ගියා.අම්මා මට සල්ලි එව්වේ නැහැ.නංගිට තමයි එව්වේ.මම මුලින් මාසයකට දෙකකට සැරයක් නංගිව බලන්න ගියා.

ඒත් පුංචි අම්මා කැමති වුණේ නැහැ මම එහෙ එනවට.මං ආච්චි අම්මා දෙන දෙයක් කාලා ගෙදරට වෙලා හිටියා.කොල්ලොත් එක්ක රෑ තිස්සේ ඇවිදින්න ගියා.

ඔහොම ඉන්න අතරේ තමයි ගාමිණි මට එයා ගාවට කතා කලේ.මං එයාගේ බොඩිගාඩ් වගේ හිටියා.ගාමිණීට හිටියා මගේ වයසේ දුවෙක්.මං ඒ කෙල්ල එක්ක යාළු වුණා..ගාමිණී මේකට කැමති වුණේ නැහැ.එයා මාව ගෙදරින් එලවගත්තා."

ගාමිණීගේ දුව කැමති වුනෙත් නැහැ මාව අමතක කරන්න.අපි හොරෙන් පැනලා ගියා.කසිප්පු පෙරලා පොහොසතෙක් වුණ ගාමිණිගේ දුවව මං මගේ පුංචි ගෙදරට එක්කරගෙන ආවා.අම්මා මට බැනලා ලියුමක් එව්වා.ඒත් ආච්චි අපට හොඳට සැළකුවා...

 

ඔයා ගාමිණිගේ දුවව බැන්ඳේ සල්ලි තන්හාවටද?.....

 

"මං ඇත්තම කියන්නද....?මගේ තාත්තා මිණීමරුවෙක් කළේ ගාමිණී.

ඒත් තාත්ත හිරේ ගියාට පස්සේ ගාමිණි අපි ගැන බැලුවේ නැහැ. එයා අපේ අම්මට අයුතු යෝජනා ගෙනාවා.මගේ තාත්තා ගැන බැලුවේ නැහැ..කසිප්පුකාරයා වුණත් මිණිමරුවෙක් වුනත් මගේ තාත්තා මට වටිනවා.

ඒත් තාත්තා හිර ගෙදරදී මැරුණා.තාත්තා මැරෙනකොට අපේ අම්මා හිටියේ රට.අපට මිනිය බාරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

මිනිය වැළලුවේ රජයෙන්.ගාමිණී සුරසැප වින්දේ මගේ තාත්ත නිසයි.එදා ගාමිණීව මරන්න ආපු කෙනෙක්ව තමයි තාත්ත මරලා තියෙන්නේ....

අපේ පවුල විසිරිලා ගියා.මට ගාමිණී ළඟ රස්සාවට ගියාම හිතුනා එයාව රිදවන්න පුළුවන් හොඳම දේ එයාගේ දුවත් එක්ක යාළුවෙන එක කියලා......"

ගාමිණිට හිටියේ ඒ දුව විතරද.....?

"ඔව් ලසිතා තමයි පවුලේ එකම දරුවා.මං ලසිතා අරගෙන ආවට පස්සේ ගාමිණි හිටියේ වෙඩිකාපු ඌරා වගේ...

මේ ප්‍රශ්නෙදී ගාමිණී පොලිසි ගියේ නැහැ.එයා එයාගේ මිනිස්සු දාලා මට ගැස්සුවා ඊට පස්සේ ලසිතාව අරගෙන ගියා..."

එයා යන්නම ගියාද.......?

"නැහැ..... ලසිතා ආයෙත් මං ගාවට ආවා..ලසිතාගේ අම්මාගෙන් නම් අපට කරඳරයක් තිබුණේ නැහැ.

ඒත් ගාමිණි සැරෙන් සැරේට ඇවිල්ලා කරදර කරන්න පටන්ගත්තා.මේ කරදර උහුලන්න බැරි තැන එක දවසක් මං ගාමිණීට පිහියෙන් ඇන්නා.එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් ම.

ගාමිණි ලසිතා ඉස්සරහම පණ ඇද ඇද බිම වැටුණා.ලසිතා විලාප දීලා ඇඬුවා.එයා මට එයාගේ අතක්වත් අල්ලන්න ඉඩ දුන්නේ නැහැ.ඊට පස්සේ කවදාවත් එයා මගේ මුණවත් බැලුවේ නැහැ..."

දැන් ලසිතා කොහේද ඉන්නේ......

ලසිතා දැන් ඉන්නේ එයාගේ අම්මා ගාව.එයා ආයෙමත් බැඳලා.ඒ ගොල්ලෝ එවා විකුණලා වෙන පළාතකට ගිහිල්ලා.

මගේ නංගී හොඳට විභාගය පාස් කරලා කැම්පස් ගියා.නංගී දැන් ගුරුවරියක් එයා දැන් විවාහ වුණා.එයාට දරුවෝ ඉන්නවා..

 

අම්මා තවමත් රටද......?

 

"නැහැ.... නංගි ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ අම්මා ලංකාවට ආවා.අම්මා දැන් ඉන්නේ අනුරාධපුරේ...අම්මා ඉඳලා හිටලා එනව මාව බලන්න...."

මොකක්ද පුතේ මේ කරුමේ.තාත්තව බලන්න හිර ගෙදරට ආව මදිවට මට පුතා බලන්නත් හිර ගෙදර එන්න වුණානේ...

 

ඇයි ඔයාට මෙහෙම වුණේ........."

 

"මගේම වරදින්..... මට හොඳ නරක හොයාගන්න බැරිවුණා

පළිගැනීමයි.තන්හාවයි තමයි හිතේ තිබුණේ..

අපේ තාත්තා හොඳ කෙනෙක් වුණා නම් අද මට මහෙම වෙන්නෙ නැහැ.මට ජීවිතේ ගැන දුකක් නැහැ.ඒත් මාව මේ තත්වයට පත් කරපු සමාජය ගැන මට තියෙන්නේ කලකිරීමක්..."


ඉනෝකා සමරවික්‍රම

Comments